සෙනෙගාලයේ තරුණ රජයට වසරක් පිරෙන විට මුල්‍ය අරමුදලෙන් බාල්දියක්!

සෙනෙගාලයේ තරුණ රජයට වසරක් පිරෙන විට මුල්‍ය අරමුදලෙන් බාල්දියක්!

සෙනගාලයේ තරුණ බසිරූ ඩියෝමයේ ෆයේ එරට ජනාධිපති ලෙස තේරී පත් වී මේ වනවිට වසරක් ගෙවී ඇත. 2024 මාර්තු 24 වැනිදා සෙනෙගලයේ ඓතිහාසික බල මාරුවක් සිදු වී ප්‍රථම වරට විපක්ෂ අපේක්ෂකයෙකු පළමු වටයේදීම ජය ලබමින් සොන්කෝ විසින් ඉදිරිපත් කළ පැස්ටෙෆ් දේශප්‍රේමී ව්‍යාපෘතියට පූර්ණ සහයෝගීතාවය ලබා දෙමින් සෙනෙගල් ජනතාව බසිරූ ඩියෝමයේ ෆයේව 54%ක ඡන්ද සහයෙන් රටේ ජනපති ලෙස තෝරා පත් කළහ. සොන්කෝ හා බසිරු ඩියෝමයේ තම ව්‍යාපෘතිය තුලින් රැඩිකල් ක්‍රම වෙනසක් ඉදිරිපත් කරන ලදී. එහෙත් ඊයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පෙර පැවති මැකිසාල් පවුල් පාලනය ඩොලර් බිලියන 7ක වංචාවක් මුල්‍ය අරමුදල් ණය ලබා ගැනීමේදී සිදු කර ඇති බවට හෙළි කිරීමත් සමගම සොන්කෝ-බසීරූ රජය අපහසුතාවයට පත් වී ඇති බව විදේශ මාධ්‍ය වර්තා කර සිටි.

පස්ටෙෆ් පක්‍ෂය විසින් පාර්ලිමේන්තු මැතිවරණයත් දිනා ගැනීමෙන් පසු අල්ලස් දීමනා සහ රාජ්ය මුදල් අපයෝජනයට එරෙහිව නව රජය පත් වූ දා සිට නාස්තිකාර රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා වහාම පියවර ගත්තේය. එයට ජනාධිපතිවරයාගේ වරප්‍රසාද අහෝසි කිරීම හා සරල කිරීම, රජයේ මුදල් වියදම් පාලනයද ඇතුළත් විණි. විවෘතතාවය සහ සත්‍යය ප්‍රකාශ කිරීමේ කැපවීම මත වසරක් තුළදී පසුගිය වසර පහේ සිදු වූ රාජ්‍ය මුදල් වියදම් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් නව මුල්‍ය අධිකරණය විසින් ජනතාවට පසුගිය මස ඉදිරිපත් කර ඇති ඇති බව වාර්තා වේ.

මෙම මුල්‍ය වියදම් සහිත සත්‍ය වාර්තාව හෙලිකිරීම කිරීම අවසානයේ සෙනෙගලයට වේදනාකාරී වී ඇත. පසුගිය මැකිසාල් පවුල් පාලනය විසින් සඟවන ලද ඩොලර් බිලියන 7ක ණය ප්‍රමාණයක් හෙළි වීමෙන් රටේ ණය ප්‍රමාණය දල ජාතික නිෂ්පාදනයෙන් 99.67%GDBක් ලෙස ඉහළ යාමත් සමග මූඩි ආයතනය රටේ මුල්‍ය බලය ශ්‍රේණිගත කිරීම පහත හෙලන ලදී. පැවැති මැකී සාල්ගේ පවුල් පාලනය ණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අසත්‍ය වාර්තා හෙළි වීමත් සමග දැවැන්ත ණය කන්දක් නව රජයට ගෙවීමට මේ අනුව සිදු වී ඇත.

මෙම වාර්තාව මගින් බදු ගෙවීම මග හැරීම, බදු වංචාව හා සමාගම්වලට බදු අය කිරීමකින් තොරව රටින් පිටතට ධනය මාරු කිරීම හේතුවෙන් සෙනගාලයේ සෑම වසරකම ඩොලර් මිලියන 153ක් හෙවත් බදු ආදායමෙන් 3%ක් රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වන බව තවදුරටත් හෙළි කරන ලදී.

මෙම තත්වයත් සමග සෙනගාලය සම්බන්ධයෙන් ආයෝජකයින් ගේ විශ්වාසයද බිඳ වැටී ඇත.

කෙසේවෙතත් රජයට කිට්ටු මාධ්‍ය සඳහන් කරන්නේ, “මාස දොළහක කාලයක් තුළ විදේශීය ප්‍රංශ හමුදා කඳවුරු වසා දැමීම, පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණ පැවැත්වීම, අධිකරණ හා මහාධිකරණය බලය ස්වාධීන කර නැවත සක්‍රීය කිරීම; තෙල් සහ ගෑස් කොන්ත්‍රාත්තු නැවත සාකච්ඡා කිරීම” යුරෝපීය සංගමය සමඟ අත්සන් කරන ලද රටට අහිතකර ධීවර ගිවිසුම් අත්හිටුවීම, රාජ්‍ය මුල්‍ය අරමුදල්වල විනිවිද පෙනෙන ලෙස කළමනාකරණය කිරීම සඳහා රටේ සියලුම මුල්‍ය විමර්ශන වාර්තා ප්‍රකාශයට පත් කිරීම වැදගත් පියවරයන් වේ.

“නිසැකවම, නව රජය “ප්‍රතිසංස්කරණ සිදු කර ඇත, සැලකිය යුතු ප්‍රගතියක් ද ලබා ඇත, නමුත් අභියෝග තවමත් දැවැන්තය,” යනුවෙන් එරට මාධ්‍ය වාර්තා කර සිටි.

එසේම ආර්ථික අභියෝග විශාල වශයෙන් පවතී. තරුණ විරැකියාව, අස්ථිරභාවය, උද්ධමනය සහ රාජ්‍ය ණය යනු කඩිනම් සහ ඵලදායී විසඳුම් අවශ්‍ය වන හදිසි ගැටළු වේ. රජය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පමණක් නොව, කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ තාක්ෂණික නවෝත්පාදන වැනි උපායමාර්ගික අංශ ශක්තිමත් කර ප්‍රවර්ධනය කළ යුතුව ඇත. ආර්ථික ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නය ද තීරණාත්මක ය, මන්ද එය බාහිර යැපීම් වලින් නිදහස් වීමට සහ තිරසාර වර්ධනයේ ආකෘතියක් ගොඩනැගීමට රටට ඇති හැකියාව තීරණය කරනව. කෙසේ වෙතත්, නව බලධාරීන් විසින් ස්ථාපිත කරන ලද විනිවිදභාවය පිළිබඳ සැබෑ ප්‍රතිපත්තියක්, ස්වාධීන අධිකරණ පද්ධතියක්, සෙනගාල ජාතිකයන් ප්‍රමුඛතාවයන්හි හදවතේ තබන නව දේශපාලන දැක්මක් සිදු කර තිබෙනවා. තෙල් හා ගෑස් ගවේෂණයට ස්තූතිවන්ත වන ආර්ථිකයක් නිවැරදි මාර්ගයේ තබන බව බලාපොරොත්තුවක් ජනතාව තුල ඇතිවී තිබෙන බව අගනුවර ඩකා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු සඳහන් කරයි.

“ස්වෛරීභාවය සහතික කරන නිදහස් හා සමාජ යුක්තියේ රාජ්‍යයක්” ජනාධිපති බස්සිරෝ ඩියෝමේ ෆේ සහ අගමැති ඔස්මාන් සොන්කෝ රටට පොරොන්දු වී ඇත, එය ධර්මිෂ්ඨකම, විනිවිදභාවය සහ බාහිර ලෝකය මත ජාතික ආර්ථිකය යැපීමෙන් නිදහස් විය යුතු බවට සහතික කරනු ලබයි.

නමුත් බලයට පැමිණි මෙම පළමු වසර තුළ, බස්සිරෝ ඩියෝමේ ෆේ – ඔස්මාන් සොන්කෝ කණ්ඩායමට ද බරපතල මූල්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු වී ඇත. ඔවුන් පළමු වසර ගත කළේ, රාජ්‍ය මූල්‍ය අර්බුධය යලි යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක දී ජනතාවට තම පටිය තද කර ගැනීමට සිදුවීම සහ ජාත්‍යන්තර ණය මූල්‍යකරුවන්ගේ බලපෑමට මුහුණ දීමට පමණි. ජනාධිපති මකී සාල් ගේ පාලන තන්ත්‍රයේ මූල්‍ය අපචාර, පෙර රජය විසින් සිදුකරන ලද ආර්ථික අපරාධ විගණක අධිකරණය විසින් ඉදිරිපත් කිරීමත් සමඟ පැවැති රජය නිවේදනය කළ ප්‍රමාණයට වඩා විශාල ණය සහ අයවැය හිඟයන්, ගිණුම්කරණ විෂමතා සහ සැක සහිත අරමුදල් මාරු කිරීම් නව රජය බිමටම ඇද තබා ඇත.

රැකියා සහ ජීවන වියදම් අඩු කිරීම සඳහා ජනතාවගේ අපේක්ෂා ඉහළය. තරුණ රැකියා සහ කාන්තාවන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා කිසිදු නිශ්චිත ක්‍රියාමාර්ගයක් තවමත් ගෙන නොමැති අතර ඇතැම් රාජ්‍ය ව්‍යුහයන්හි පුළුල් ලෙස රාජ්‍ය සේවකයින් දොට්ට දැමීම් ද සිදුවන බව විපක්‍ෂය සඳහන් කරයි. එහෙත් රජය ඉඩම් කළමනාකරණය සහ කෘෂිකර්මාන්තයේ ප්‍රතිසංස්කරණ සිදුකර ඇති අතර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින්, රජය නව ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංවර්ධනය මුල්‍ය සහය ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

මේ අතර ඇතැම් දේශපාලන විචාරකයින් පවසා සිටින්නේ සෙනගාල සමාජය දුෂිතයන්ගේ කඳවුර සහ දූෂණ විරෝධී කඳවුර ලෙස කඳවුරු ලෙස දෙකට බෙදී ගොස් ඇති බවයි.

මේ අතර 2019 සිට 2024 දක්වා කාලය තුළ පැවැති මැකී සාල් පරිපාලනය විසින් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7 ක ණයක් “සඟවා” ඇති බව පිළිගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ මාර්තු 15 වැනිදා සෙනගාල රජයේ නව විගණන අධිකරණය විසින් හෙළි කරන ලද මෙම මුල්‍ය වංචාව මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සමග එකඟ වන බව සනාථ කරනු ලැබීය.

පසුගිය වසර පහ තුළ ණය තොගය අවතක්සේරු කිරීමට ඉතා සවිඥානික තීරණයක් පසුගිය රජය සිදු කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී එඩී ගෙමයෙල් පවසයි.

“එබැවින් අපි විගණක සෙනගාල අධිකරණ වාර්තාවේ නිගමනයන්ට එකඟ වෙමු,” යයි එඩී ගෙමයෙල් තවදුරටත් පවසයි. මූල්‍ය ආයතනයට අනුව, ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7ක් පමණ වන සහ රාජ්‍ය ණය ඇස්තමේන්තු දෙක අතර වෙනසට අනුරූප වන අගය හිතාමතාම “සැඟවුණු” මුදලකි. මකීසාල් පාලනය යටතේ ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය ණය ප්‍රතිශතය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 70%කට වඩා වැඩි වේ. නමුත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කට ආසන්න ප්‍රමාණයක් වන විගණක අධිකරණය විසින් පෙන්වා දී ඇත.

“පසුගිය මකිසාල් රජය පැහැදිලිවම මෙසේ තම ණය ප්‍රතිශතය ගැන අඩු තක්සේරුවක් කර තිබෙනවා. එමඟින් බලධාරීන්ට වෙළඳපොලෙන් වැඩිපුර ණයට ගැනීමටත්, මූල්‍ය වෙළඳපොළට වඩාත් ධනාත්මක සංඥාවක් ලබා දීමටත්, ඒ ඔස්සේ වඩා වාසිදායක අනුපාතවලට ණයට ගැනීමටත් හැකි වී තිබෙනවා,” යයි IMF නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා කියා සිටි.

කෙසේ වෙතත්, මෙම නව වංචාව හෙළි වීමත් සමග සෙනගාලයේ අයවැය හිඟය 12% GDB ලෙස වැඩි වී ඇති අතර එරටට IMF ණය අත්හිටුවීමට මෙම හෙළිදරව්ව හේතු වී තිබේ. සෙනගාලය සඳහා යුරෝ බිලියන 1.8 ක වටිනාකමක් ඇති මෙම IMF ආධාර වැඩසටහන මේ අනුව නවතා ඇත්තේ හිටපු ජනාධිපති මැකී සෝල් යටතේ සැප්තැම්බර් මාසයේදී නිල රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛනවල වැරදි බව නව රජය හෙළි කළ දා සිටය.

මෙම ණය මුදල නැවත ලබා ගත හැක්කේ සෙනගාල බලධාරීන් ණය මුදලේ යථාර්ථය සැඟවීමට භාවිතා කරන යාන්ත්‍රණයන් හඳුනා ගෙන එවැනි සිදුවීමක් නැවත සිදුවීම වැළැක්වීම සඳහා නිවැරදි කිරීමේ පියවරයන් ද අනුගමනය කළ පසුව බව IMFආයතනය අවධාරණය කරයි. උදාහරණයක් ලෙස, රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා තනි ගිණුමක් පවත්වා ගැනීම සහ ණය කළමනාකරණය සඳහා වගකිව යුතු ආයතන මධ්‍යගත කිරීම ද මුල්‍ය අරමුදල යෝජනා කර ඇත.

ඉදිරි සති කිහිපය තුළ මුල්‍ය අරමුදල විසින් සෙනගාලයට සහනයක් ලබා දෙන්නේද, නැතහොත් නව වැඩසටහනක් නැවත ආරම්භ කිරීමට පෙර දැනටමත් ණයට දී ඇති මුදල් ආපසු ගෙවන ලෙස ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්