සරණට එරෙහි නඩු හතරක විභාගයට දින දෙයි

සරණට එරෙහි නඩු හතරක විභාගයට දින දෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් 2006 වසරේ කටයුතු කරමින් සිටියදී ඊට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේ දී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු හතරක් විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

ඒ මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු අවස්ථාවේදීය.

එහිදී මෙම නඩු සඳහා වරද පිළිගෙන කෙටියෙන් අවසන් කර ගැනීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා විත්තිකාර සරණ ගුණවර්ධන සිය නීතිඥයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩු අද දින කැඳවා තිබිණි.

කෙසේ වෙතත් මෙම නඩු විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ වරද පිළිගෙන මෙම නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට සඳහා තමන් කළ දැනුම් දීම ඉවත් කර ගන්නා බවය.

ඒ අනුව මෙම නඩු තව දුරටත් විභාගය සඳහා දින නියම කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ නඩු විභාගය සඳහා නොවැම්බර් මස 19 සහ 25 යන දිනවල කැඳවන ලෙස විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්