ශ්රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, පවතින මූලධර්ම ප්රායෝගික ක්රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
අගමැති මෙම අදහස් පල කළේ මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් ඔක්තෝබර් 13 වන දින බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.
චීන ජාතික සම්මේලන මධ්යස්ථානයේ වෙත පැමිණි අගමැති ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති ෂී ජින්පින්ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රාජ්ය කායකයෝ සිය අදහස් ඉදිරිපත් කළහ.
සමුළුව ඇමතූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“1995 බීජිංහි පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුවෙන් වසර තිහකට පසුව වුවත් අපි තවමත් ස්ත්රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගන්න එම පුළුල් රාමුව තවමත් යොදා ගන්නවා. අපි මේ වන විට සැබෑ ප්රගතියක් ලබා කරගෙන තියෙනවා. කාන්තා සාක්ෂරතාවයසැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා, මාතෘ මරණ සංඛ්යාව අඩකින් පමණ වෙලා වගේම ගෝලීය ආයු අපේක්ෂාව 1995 දී අවුරුදු 69 ලෙස පැවති එයි 2023 දී අවුරුදු 76 දක්වා වැඩි වෙලා තියෙනවා.
එහෙත් තවමත් අවධානය යොමු නොවූ අංශ ගණනාවක් තියෙනවා. ශ්රම බලකායේ කාන්තා සහභාගීත්වය සලකා බැලීමේදී පිරිමි සහභාගීත්වය 73%ක් වනවිට ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 48.7%ක් පමණයි, විද්යා හා තාක්ෂණ ක්ෂේත්රවල අඩු කාන්තා නියෝජනය ඇති අතර කාන්තා ප්රතිශතය උපාධිධාරීන්ගෙන් 35%ක් පමණයි, කාන්තාවන්ට බලපා ඇති ආහාර අනාරක්ෂිතභාවය සැලකීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 47.8ක් මධ්යස්ථ හෝ වැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටිනවා.
ඒ වගේම දේශපාලන සමානාත්මතාවය අත් කරගැනීමේ දී පවතිනේ ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ නිසා කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ අධ්යාපනය, සෞඛ්යය, ආර්ථිකය, දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය හරහා සිදුවිය යුතු සාකල්ය ක්රියාවලියක්.”
සෑම මට්ටමකදීම කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා නායකත්ව කටයුතු සහ තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා මෙන්ම ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්රතිපත්තිය සහ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්රියාකාරී සැලැස්ම (2023–2027) ක්රියාත්මක කිරීම සඳහා ජාතික වශයෙන් ක්රියාත්මක වන කැපවීම අගමැති තවදුරටත් මෙහිදී අවධාරණය කළා ය.
කම්කරු පන්තියේ සහ ආන්තිකකරණයට ලක් වූ ප්රජාවන්ගෙන් පැමිණෙන කාන්තාවන් ඇතුළු විවිධ සමාජ පසුබිම්වල සිටින කාන්තාවන්ගේ නියෝජනය තහවුරු කිරීමට පවතින ගැටළු සඳහා විසදුම් සෙවීමට ශ්රී ලංකා රජයේ කැපවීම අගමැති තහවුරු කළා ය.
සමාරම්භක උත්සවයෙන් පසු, චීන ජාතික සම්මේලන මධ්යස්ථානයේ දී ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan විසින් පවත්වන ලද නිල භෝජන සංග්රහයට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.













