රජයේ බදු වැඩිකිරීමෙන් ඉස්සන් කර්මාන්තය අනතුරේ

රජයේ බදු වැඩිකිරීමෙන් ඉස්සන් කර්මාන්තය අනතුරේ

මෙරට ඉස්සන් කර්මාන්ත දැඩි ලෙස අනතුරේ හෙළන තීරණයකට වත්මන් ආණ්ඩුව පැමිණ ඇති බවත් කර්මාන්තය අනතුරේ වැටුනහොත් පවුල් 6000ක පමණ සෘජු ආදායම් මාර්ග ඇහිරී යන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (27) පෙරවරුවේ ඉස්සන් වගාකරුවන්ගේ එකමුතුව සහ  සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව හලාවත මුතුපන්තිය දූපතේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

එම අවස්තාවට ඉස්සන් කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන්ගෙන් සැදුම්ලත් සංගම් ප්‍රධානීන්ද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා අනාවරණය කර සිටියේ මේ වනවිට රජයේ ඉඩම්වල ඉස්සන් වගාව ආරම්භ කර ඇති වගාකරුවන්ට එය ආරම්භයේදී අක්කරයක් සඳහා වසරකට අය කරනලද බදු මුදල මේ වනවිට 625%කින් වැඩි කර ඇති බවයි.

ආරම්භයේදී රුපියල් 1,200ක්ව තිබූ බදු මුදල මීට වසර තුනකට පමණ පෙර රුපියල් 5,000ක් දක්වා 400%කින් පමණ වැඩි කර තිබේ. එහිදී ඉස්සන් වගාවේ නිරත හිමිකරුවන් තුළින් යමි විරෝධයක් මතුව ඇතත් එම බදු මුදලද ගෙවාගෙන වගාව ඉදිරියටත් පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු කර තිබේ.

කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ප්‍රාදේශීය සභාවෙන්, ඉස්සන් වගාව රජයේ ඉඩම්වල සිදුකරන පුද්ගලයන් හට ලිඛිතව දන්වා ඇත්තේ මෙහි බදු මුදල යළි රුපියල් 2,500කින් එනම් රුපියල් 7,500 දක්වා වැඩි කරන බවයි. ඒ අනුව එය මුලදී පැවති ගණනට සාපේක්ෂව 625%කින් වැඩි වීමකි.

අක්කරයක් සඳහා වසරකට රුපියල් 7,500ක බදු මුදල ගෙවීමට නොහැකිනම් එම ඉඩම් පවරා ගැනීමට කටයුතු කරන බවත් එම ලිපියෙන් දන්වා ඇත.

එක අක්කරයක පමණක් ඉස්සන් වගාවේ නියුතු හිමිකරුවන් ඇත්තේ 150ක පමණ පිරිසක් බවත් අක්කර 03ත් 10ත් අතර ඉස්සන් වගාවේ නියුතු හිමිකරුවන් 450ක් පමණ සිටින බවත් එම මාධ්‍ය හමුවේදී අනාවරණය කළ අතර හෙක්ටයාර 1700ක් පුරා භූමියක ඉස්සන් ගොවිපලවල් 900ක් පමණ ඇති බවත් වගා පොකුණු 3034ක් ඇති බවත් ඉන් වාර්ෂික මෙට්‍රික් ටොන් 6,000ක පමණ නිෂ්පාදනයක් සිදුකරන බවත් අනාවරණය කළේ ය.

ඉස්සන් වගාවේ නියුතු හිමිකරුවන් 580ක් පමණ සිටින අතර ආණ්ඩුවේ උක්ත තීරණය අනුව අක්කර 10ක ඉස්සන් වගාව යොදා ඇති හිමිකරුවෙකුට වාර්ෂයකට රුපියල් 75,000 මුදලක් බදු ලෙස ගෙවීමට සිදුවීම තුළ මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩපන වන බවත් පවුල් 6000ක පමණ පිරිසක් ඉන් අනාත වන බවත් එම මාධ්‍ය හමුවේදී ඉස්සන් වගාවේ නිරතවූවන් අනාවරණය කර සිටි අතර බලධාරින් ඊට මැදිහත්විය යුතු බවත් නොඑසේනම් ඉදිරියේදී ඉල්ලීම් දිනාගැනීමේ ක්‍රියාමාර්ගවල නිරතවන බවත් අවධාරණය කළේ ය.

බෝගහවැටිය ඉස්සන් වගාකරුවන්ගේ සමිතියේ සභාපති රොෂාන් ලක්මාල්, මුතුපන්තිය ඉස්සන් වගාකරුවන්ගේ සමිතියේ සභාපති රෝෂාන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ උපලේකම් නිමල් පතිරණ සහ ඉස්සන් වගාකරුවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්