යුක්රේන කොමියුනිස්ට් පක්ෂය තහනම් කිරීම ජවිපෙ හෙළා දකී

jvpsrilanka0101-lankatruth.jpg - 17.72 Kbයුක්රේන අධිකරණ අමාත්‍යවරයාගේ ඉල්ලීමක් පරිදි කිව් හි පරිපාලන අධිකරණය විසින් යුක්රේන කොමියුනිස්ට් පක්ෂය නිත්‍ය තහනමකට ලක්කිරීමට ගත් දුෂ්ඨ හා අනර්ථකාරී පියවර ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස හෙළාදකින බව සඳහන් කරමින් එම පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ…

“යුක්රේන අධිකරණ අමාත්‍යවරයාගේ ඉල්ලීමක් පරිදි කිව් හි පරිපාලන අධිකරණය විසින් යුක්රේන කොමියුනිස්ට් පක්ෂය නිත්‍ය තහනමකට ලක්කිරීමට ගත් දුෂ්ඨ හා අනර්ථකාරී පියවර ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස හෙළාදකියි.

මෙම තීරණය තුළ ඇති අරමුණු වන්නේ පක්ෂයේ නිල කි‍්‍රයාකාරීත්වය වැළැක්වීම, මැතිවරණවලට ඉදිරිපත් වීම වැළැක්වීම, විරෝධතා දැක්වීම සඳහා ඇති අයිතිය නැතිකිරීම හා ජනතා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සංවිධානය වීමට ඇති අයිතිය සීමාකිරීම යන කරුණුයි.

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා නේටෝ සංවිධානයේ නායකත්වයෙන් මෙහෙයවෙන අධිරාජ්‍යවාදී බලවේග වල සහයෝගයෙන් කුමන්ත‍්‍රණයක් හරහා බලයට පත්, පැසිස්ට්වාදය, නව යටත්විජිතවාදය, නව නාසිවාදය පෝෂණය කරන හා ඒවාට සහයෝගය දක්වන ප‍්‍රතිගාමී යුක්රේන ආණ්ඩුව විසින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ක‍්‍රියාත්මක වෙමින් පැවති යුක්රේන කොමියුනිස්ට් පක්ෂය වැනි ඓතිහාසික පක්ෂයකට එරෙහිව ලබා දුන් තීන්දුව අපි දැඩිලෙස හෙළා දකිමු.

යුක්රේන කොමියුනිස්ට් පක්ෂය කිසිවිටෙකත් ජාතිබේදවාදය හා ආගමික අන්තවාදය ප‍්‍රවර්ධනය නොකළ අතර යුක්රේන ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීම උදෙසා මහත් පරිශ‍්‍රමයක් දැරූ බව ලෝකවාසී ප‍්‍රගතිශීලී හා නිවැරදි චින්තනයක් සහිත ජනතාව අවබෝධ කරගත් කරුණකි.

යුක්රේන කොමියුනිස්ට් පක්ෂය තහනම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා ප‍්‍රගතිශීලී බලවේග වලට එල්ල කරන ලද පහරක් වන අතර පැසිස්ට් වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි ජනතා සටන් මර්දනය කිරීමකි.

ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි, ප‍්‍රතිගාමී හා අධි ගතානුගතිකවාදී යුක්රේන ආණ්ඩුවේ මෙම අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලන ක‍්‍රියාමාර්ගය හෙළාදකින ලෙසත්, නොසැලෙන ස්ථාවරයක් දරන ලෙස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි සියලු බලවේග දැඩිලෙස හෙළාදකින ලෙසත් ලෝ වාසී නිදහස ප‍්‍රිය කරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මෙම සුවිශේෂී මොහොතේ  යුක්රේන කොමියුනිස්ට් පක්ෂයට, එහි සාමාජිකයින්ට හා ආධාරකරුවන්ට අපගේ දැඩි සහයෝගීතාව ප‍්‍රකාශකර සිටිමු. එසේම යුක්රේන කොමියුනිස්ට් පක්ෂය සතු අත්දැකීම් සහ ශක්තිය කිව් පාලකයින්ගේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගයට එරෙහිව සටන් කිරීමට උවමනාවටත් වඩා ප‍්‍රමාණවත් බව අපි විශ්වාස කර සිටිමු.

ලෝකවාසී ජනතාවනි, අධිරාජ්‍යවාදය, පැසිස්ට්වාදය හා ඒවාට ආවඩන්නන් පරාජය කිරීම උදෙසා එක්සත් වෙමු.

දේශපාලන බලමණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ

30.12.2015″

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්