යුක්රේනය අර්බුදයේ ගිළී රුසියාවට චෝදනා කරයි

යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරෂෙන්කෝ පසුගියදා එරට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරියේදී රුසියානු ආක්‍රමණයක් යුක්රේනය වෙත එල්ල වීමේ අවධානමක් පවතින බවත්  රුසියානු ස්වේච්ඡා භටයින් 9000ක් මේ වනවිට යුක්රේනයේ සටන්වදිමින් සිටින බවත්ය.

රුසියානු හිතවාදී යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් පහ කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ වූ යුක්රේන ගැටුම් හේතුවෙන් මේ වනවිට 6400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කිරීම පිටුපස ඇමෙරිකාව ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වන අතර ක්‍රිමියා අර්ධද්වීපය යුක්රේනයෙන් ඉවත් වී රුසියාවට එක්වන බවට ජනමත විචාරනයක් පැවැත්වීමත් සමග යුක්රේනය දැඩි අර්බුදයකට මුහුණ පෑවේය.

යුක්රේන ජනගහණයෙන් 20% හෙවත් මිලියන 120ක් පමණ රුසියානුවන් බව පැවසේ. එසේම වසරකට වැඩි කාලයක් නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස් සහ ලුකාන්ස් ප්‍රදේශ සිය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමෙන් පසුව ඇවිලි ඇති ගැටුම් හේතුවෙන් යුක්රේන ආණ්ඩුවට හා ආරක්ෂක අංශ වෙත දැඩි අලාභහානි සිදු වී තිබේ. එසේම රුසියාව යුක්රේනය වෙත ගෑස් ලබා දීම වෙනුවෙන් තමන්ට අයවිය යුතු ඩොලර් බිලියන ගණනක ණය මුදල් වහා ලබා දෙන ලෙස ඉල්ලා සිටීමත් සමගම යුක්රේන ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. ඇමෙරිකාව රුසියාව හුදෙකලා කිරීමට හා යුක්රේන ප්‍රශ්නය යොදා ගනිමින් රුසියාව දුර්වල කිරීමට දැරූ උත්සහායද මේ වනවිට අසාර්ථක වී ඇති අතර ඔවුන් නිර්මාණය කළ අර්බුදය තුළ යුක්රේනය මේ වන විට කරවටක් ගිළි තිබේ.

 

යුක්රේනය විසින් රුසියාව වෙත ඒල්ල කරන මෙම චෝදනාව රුසියාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර අමෙරිකාව හෝ යුරෝපා රටවල් යුක්රේන ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් නොකරන තත්වයක් හමුවේ යුක්රේනය ආරක්ෂා වීම වෙනුවෙන් රුසියාව ඉලක්ක කර වැරදි ප්‍රකාශ සිදු කරමින් සිටින බවට රුසියාව ප්‍රකාශ කරයි. තවද නැගෙනහිර යුක්රේනයේ සටන් වදින පිරිස් වෙත කිසිදු ආකාරයක සහයෝගයක් තමන් ලබා නොදෙන බවත් රුසියාව ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්