බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සඳහා සටන් වැද සිටින අයි.එස්. ත්රස්තවාදීන්ට එරෙහිව තීරණාත්මක සටනක් සිරියානු හමුදාව ආරම්භ කර ඇති අතර එහිදී අවි ආයුධ සහිතව සිරියානු හමුදාව වෙත භාරවන අයි.එස්. ත්රස්ත සාමාජිකයින්ට සමාව ලබා දීමට සිරියානු අණ්ඩුව කටයුතු කරන බව සංහිඳියාව පිළිබඳ රුසියානු ආයතනය පකාශ කර තිබේ.
මේ වනවිට 2500කට අධික අයි.එස්. සාමාජිකයින් පිරිසක් තම ආයුධ සමග සිරියානු හමුදාව වෙත භාර වී ඇති බව පැවසේ. පසුගියදා අල් ටෝල් පළාතේදී තවත් අයි.එස්. සාමාජිකයින් 500ක් පමණ ඔවුන්ගේ පවුල්වලට අයත් සාමාජිකයින් 1500ක පිරිසක් සමග සිරියානු හමුදා වෙත භාරවී ඇති අතර ඔවුන් සිරියාවේ ඉඩ්ලිබ් ප්රදේශයේ පදිංචි වීමට කැමැත්ත පළකර ඇත.
සිරියානු හමුදාව අයි.එස්. ත්රස්තවාදීන්ගේ තීරණාත්මක බලකොටුවක් ලෙස යොදාගත් ඇලෙප්පෝ නගරයෙන් මේ වනවිට 85% පමණ භූමි ප්රදේශයක් නිදහස් කර ගැනීමට සමත්ව තිබේ. පසුගිය 4 වැනි දින සිරියානු රජය අයි.එස්. ත්රස්තවාදීන්ට අනතුරු අඟවමින් ප්රකාශ කර ඇත්තේ සිරියානු හමුදා වෙත යටත් වන ලෙසත් එසේ නොමැති නම් එම ප්රදේශය අතහැර පළා යන ලෙසය.










