දේශපාලන නායකයන් ගේ අවශ්යතා සහ වුවමනාවන් අනුව ක්රියාත්මක වන පොලිසියකින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකින්, අධිකරණ පද්ධතියකින් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
“පාස්කු ඉරුදින ප්රහාරයේ සත්ය යටගැසීම සාහසික ක්රියාවකි” යන මැයෙන් අගරදගුරු නිල නිවසේදී අද (13) කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.
එම මාධ්ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන්…
“ජනාධිපතිවරයාට අද ලිපියක් ලබාදෙනවා. පස්කු ප්රහාරයේ විමර්ශන විග්රහ කරලා බලලා තමයි මේ ලියවිල්ල සකස් කළේ. අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්රීය විමර්ශනයක්. පාස්කු ප්රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි සියලුම දේශපාලන පක්ෂවලට දැන්වූවා. ඒ දේශපාලන පක්ෂවල නායකත්වය අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට්එක යට දාන්න කටයුතු කරන්න එපා. නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ. මේ පසුපස විශාල කුමන්ත්රණයක් තියෙනවා. ඒක හොයාගන්න එක අපේ අයිතියක්” යනුවෙන් පැවසීය.










