බංගලාදේශයේ කුඩා දරුවන් සේවය සඳහා යෙදවූ කම්හලක් ගිනිගෙන 52ක් මිය යයි !

බංගලාදේශයේ කුඩා දරුවන් සේවය සඳහා යෙදවූ කම්හලක් ගිනිගෙන 52ක් මිය යයි !

2013 දී බංග්ලාදේශයේ තට්ටු 9ක ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කඩා වැටීමෙන් කම්කරුවන් 1100ක් මියයාමෙන් පසුව මෙම මස ජුලි 9 වැනිදා ආහාර නිෂ්පාදනය කරනු ලබන තවත් කර්මාන්ත ශාලාවක් ගිනි ගැනීමෙන් තවත් 52ක පිරිසක් මිය ගොස් 30 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

බංග්ලාදේශයේ ඩකා අගනුවරට සමීප නගරයක් වන Rupganj හි මෙම ඛේදවාචයක සිදුව ඇති අතර නොසැලකිල්ල හා කුඩා දරුවන් සේවය සඳහා යොදාගැනීම චෝදනා යටතේ Hashem Food and Beverage නම් අදාල සමාගමේ හිමිකරු ඇතුළු 7 දෙනෙකු මේවනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සමාගම එරට ප්‍රසිද්ධව ඇත්තේ රසකාරක බීම වර්ග, නූඩ්ලස් හා සීනි බෝල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලෙසිනි. අත්අඩංගුවට ගත් අදාළ සමාගමේ හිමිකරු විසින් අනතුර ඇතිවීමට හේතුව ලෙස කම්කරුවෙකු විසින් පත්තු කරන ලද සිගරැට්ටුවක් නිවා නොදැමීම සඳහන් කර ඇත. ඒ අනුව ප්‍රධාන වගඋත්තරකරු ඔහු බවත් එම නිසා එහි වගකීම තමන් භාර නොගන්නා බවට පොලිසියට දැනුම් දී ඇත. කෙසේ වෙතත් එරට කම්කරු අමාත්‍යවරයා වන Monnujan Sufian මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත්තේ අදාළ කම්හලේ කුඩා දරුවන්ද සේවය කර ඇති බව හෙළිවීම නිසා එම චෝදනා යටතේ හා අපරාධ නීතිය යටතේත් අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බවයි.

ඒ අතර පොලිසිය පවසනුයේ අදාළ අනතුර සිදුවෙන අවස්ථාවේ කම්හලේ ප්‍රධාන දොරටුව යතුරු දමා වසා දැමීම හේතුවෙන් ගිනි නිවන හමුදාවට හා පොලීසියට එහි ඇතුළුවීමට අපහසු වී ඇති අතර කම්හල තුල අවම හෝ ආරක්ෂක තත්වයන් සැලකිල්ලට නොගැනීම හේතුවෙන් මෙය සැලසුම් සහගතව සිදු කරන ලද “මිනීමැරුමක්” ලෙස හැඳින්විය හැකි බවයි. ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ අපරික්ෂාකාරීව ගබඩා කරන ලද ගිනි ගන්නා සුළු රසායන වර්ග හා ප්ලාස්ටික් ගිනිගැනීමෙන් එම ස්ථානය තුල පමණක් තිබී සිරුරු 48ක් ගිනිනිවන හමුදාව විසින් සොයාගෙන ඇත. තුවාල ලබා ජිවිත බේරාගත් පිරිස අතර අවුරුදු 11-14 අතර දරුවන් දෙදනෙකු සිටීමෙන් සැකකාර සමාගම කුඩා දරුවන් සේවය සඳහා යොදවා ඇති බව තහවුරු වී ඇත.

මෑතකදී ලංඩනයේ l’organisation Overseas Development Institute (ODI) නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් කරනුයේ බංගලාදේශයේ ඩකා නුවර ආශ්‍රිතව 15% වයස 6-14 අතර දරුවන් විශාල වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සතියකට පැය 64 ක් ලෙස සේවය ලබාදෙන බවයි. ඒ අතර එම වාර්තාව තවදුරටත් සඳහන් කරනුයේ වයස 14 සිමාවේ පසුවන දරුවන්ගෙන් 50%ක් ප්‍රමාණයක්ද අගනුවර ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත විවිධ රැකියා වල යෙදෙනුයේ පාසැල් යාමට ආශාවක් නොමැතිකම නිසා නොව දුප්පත්කම නිසා බවයි. ඇඟලුම් කර්මාන්තය එරට ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 30ක අදායමක් ලබාදීම හේතුවෙන් රජය කුඩා දරුවන් සේවයේ යෙදවීමට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බව අදාළ සංවිධානය බංගලාදේශය රජයට චෝදනා කරනු ලබයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්