බස්නාහිර මහඇමති ප්රසන්න රණතුංග මහතා රු. මිලියන 64ක අල්ලසක් ඉල්ලා තර්ජනය කළ බවට සිලිකස් ටෙක්නොලොජි නම් ආරක්ෂක කැමරා සහ අධි තාක්ෂණික උපකරණ මෙරටට ගෙන්වන සමාගමක හිමිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් මූල්ය අපරාධ කොට්ඨාශය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහි වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
මෙම අල්ලස මුදල ඉල්ලා ඇත්තේ කොලොන්නාව, මීතොට මුල්ල පාරේ අංක 251/9 ස්ථානයේ පිහිටි අක්කර 2 පර්චස් 8 ක ඉඩමක් බහලුම් අංගනයක් සහ ගබඩා සංකිර්ණයක් ඉදිකිරීම සඳහා එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාවෙන් සේවය ලබාගැනීම සඳහාත්, එම ගබඩා සංකීර්ණය පළාත් සභාවටම බදුදීම සඳහාත් වු එකඟතාවයකට එලඹිමේදීය.
මෙහිදි මහඇමතිවරයා සෘජුවම මුදල් ඉල්ලු බවත්, ඹහුට එය සෘජුවම ලබාගත නොහැකි බැවින් ඔහුගේ බිරිඳ සහ තවත් ඥාති සොහොයුරියක් නමින් පැමිණිලිකරු සමඟ අවබෝධතා ගිවිසුමකට එලඹි බවත් පැමිණිල්ලේ දැක්වේ. මෙම ගිවිසුම 2014.01.17 දින අත්සන් කර ඇත. එම ගිවිසුම අනුව මෙම ව්යාපාරයේ ලාභයෙන් 31% ක් වංචනික ලෙස ලබාගැනිමට මහඇමතිවරයා කටයුතු කර ඇත.
කෙසේ වෙතත් මෙම ඉඩමේ හිමිකරු මුල්ය අපහසුතා හේතුවෙන් මෙම ඉඩම 2015.03.03 දින රු. මිලියන 209.08කට ටෝකියෝ සිමෙන්ති සමාගමට විකුණා ඇත.
ඉඩම විකුණු බව දැනගත් ප්රසන්න රණතුංග මහතා පැමිණිළිකරු වෙත දුරකථනයෙන් අමතා චෙක්පොත රැගෙන තමා හමුවට පැමිණෙන ලෙස තර්ජනය කර ඇත. ප්රධාන අමාත්යවරයා ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත්කිරිමටත්, ඉඩම ගොඩකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම සඳහාත් තමා විසින් ලබා දෙනු ලැබු සහයෝගය සඳහා රු. මිලියන 64ක් තමාට ලබා දෙන ලෙස ඉල්ලා තම බිරිඳ වන මොරින් රණතුංග සහ ඥාතියෙකු වන නරේජ් ෆාරික් යන අයගේ නම් වලට චෙක්පත් 11 මඟින් එම මුදල 2015.04.10 දින පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇත. එම චෙක්පත් අතුරින් අංක 597706 දරණ චෙක්පත සඳහා රු.මිලියන 5ක් ද 597719 දරණ චෙක්පත සඳහා රු. මිලියන 3ක්ද ලබාගෙන ඇති අතර, ව්යාපාරිකයා අනෙකුත් චෙක්පත් අගරුවීමට ඉඩහැර ඇත.
මෙලෙස චෙක්පත් 9ක් අගරුවීම නිසා කෝපයට පත් මහ ඇමතිවරයා පැමිණිලිකරුට හා ඔහුගේ බිරිඳට 2015.04.28 දින මහඇමති කාර්යාලයට පැමිණෙන ලෙස තර්ජනය කර ඇත. එලෙස පැමිණි පසුව එම අවස්ථාවේ වූ සංවාදය අධි තාක්ෂණික සියුම් උපකරණයක් මඟින් පැමිණිලිකරු විසින් පටිගත කර ඇත. මෙහිදී මහ ඇමතිවරයාගේ තර්ජන නිසා බියටපත් පැමිණිලිකරු යළිත් රු. මිලියන 38.1ක වටිනාකමින් යුතු චෙක්පත් 8ක් මොරින් රණතුංග සහ නරේජ් ෆාරික් යන අයට
ලබාදි ඇත.
මහ ඇමතිවරයා තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් මෙම මුදල් ඉල්ලු සංවාද සියල්ල පටිගත කර CD තැටි 3ක් මඟින් සාක්ෂි ලෙස ඉදිරිපත්කර ඇත. ඊට අමතරව ලබාදුන් චෙක්පත් පිළිබඳ සියලු තොරතුරුද සාක්ෂි ලෙස ඔහු විසින් ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳව පසුගිය බ්රහස්පතින්දා (02) ප්රසන්න රණතුංග මහතාගේ බිරිද වන මොරින් රණතුංග මහත්මියගෙන්ද පොලිස් මුල්ය අපරාධ කොට්ඨාශය ප්රකාශයක් සටහන් කර ගෙන තිබිණි.









