ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ ඊයේ (28) පැවති ශ්රී ලංකා – බංග්ලාදේශ පන්දුවාර විස්සයි 20 තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 23කින් පරාජය කර ජයග්රහණය ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙම තරගය දිවා රාත්රී තරගයක් ලෙස බංග්ලාදේශයේ මීර්පූර්හි පිහිටි සරේ බංග්ලා ක්රීඩාංගනයේදී පැවැත්විණි.
බංග්ලාදේශ කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 තරගයක් ජයග්රහණය කළ පළමු අවස්ථාව මෙය වේ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිතිකරුවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7කට තරගයක් දිය හැකි ලකුණු 147ක් රැස් කිරීමට සමත් විය. බංග්දේශ ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු නොලබාම ක්රීඩාගරයට යැවීමට මැතිව්ස් හා කුලසේකර සමත් වුවත් ඉන්පසු පිටියට පිවිසි සබීර් රෙහෙමාන් පන්දු 54කදී ලකුණු 80ක් ලබා ගනිමින් ශ්රී ලංකා කණ්ඩායමට ප්රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ සුපුරුදු දුර්වල ක්රීඩා විලාශය මෙම තරගයේදී දක්නට ලැබුණු අතර ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් ලකුණු 37ක් හා අංක තුන පිතිකරු ෂෙහාන් ජයසූරිය ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුවත් අනෙක් කිසිදු පිතිකරුවකුට පිටියේ සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ. ඉතාමත් වගකීම් විරහිත ආධුනිකයින් සේ ශ්රී ලංකා පිතිකරුවන් බංග්ලාදේශ ක්රීඩකයින් හමුවේ ක්රියාකළේය.
ක්රිකට් බලධාරීන් අතර තිබෙන බල පොරය පසෙක තබා රටක් ලෙස සිතිය යුතු කාලය පැමිණ තිබෙන අතර ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ අනාගතය වෙනුවෙන් ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගැනීමේ කාලය එළඹ තිබෙන බව ක්රීඩකයින්ගේ ක්රීඩා විලාශය තුළින් පැහැදිලි වේ.









