හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කාර්යාලය පවත්වාගෙන ගිය සුවිසල් ගොඩනැගිල්ල සහිත පූගොඩ මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා මගින් අද (07) අධිකරණයේදී ප්රකාශ කර තිබේ.
එම ඉඩම සහ නිවස සම්බන්ධයෙන් ඔහු හෝ වෙනත් කිසිවකු හිමිකම් නොකියන්නේ නම් එය විකුණා එම මුදල් නඩුවට බැර කරන ලෙස රජයේ සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පසුගිය 04වනදා එම නඩුව කැඳවූ අවස්ථාවේ පූගොඩ මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලා සිට අතර බැසිල් රාජපක්ෂගේ නීතිඥ සංජය රණතුංග මහතා එදින ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ ඉඩම සම්බන්ධ නියෝගයක් නිකුත් කරන්නේ නම් විත්තිකරු අධිකරණයේ සිටිය යුතු බවයි.
ඒ අනුව පූගොඩ මහේස්ත්රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා විසින් අද දින අධිකරනය හමුවේ පෙනී සිටින ලෙස දන්වා බැසිල් රාජපක්ෂට නොතීසි නිකුත් කර අතර එම නියෝගය අනුව බැසිල් රාජපක්ෂ මහතා අද අධිකරණයේ පෙනී සිටි ඇත.
බැසිල් රාජපක්ෂට අයිති බව පැවසෙන කඩුවෙල සහ මාතර බ්රවුන්සිල් හි පිහිටි ඉඩම්ද රජයට පවරා ගැනීමට රජය මිට ඉහතදී පියවර ගනු ලැබිය.
කෙසේ නමුත් මෙම ඉඩම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබා දීම සඳහා මෙම නඩුව නැවත ලබන 14වනදා කැඳවීමට නියමිත ය.









