පළාත් පාලන ඡන්ද ක‍්‍රමයේ විකෘති හදන්න ඇමති එකඟ වෙයි…

නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ අඩුපාඩු සකස් කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කර තිබේ. එම කමිටුව ඡන්ද ක‍්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 03වෙනිදා දේශපාලන පක්ෂවලට කැඳවීමක් කර තිබිණි. රැස්වීම පැවැත්වූයේ පළාත් පාලන අමාත්‍යංශ ශ‍්‍රවණාගරයේදීය. එම අවස්ථාවට පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා, තිලක් මාරපන, විජිත හේරත්, රිෂාද් බදුර්දීන් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් සහ සීමා නීර්ණ අභියාචනා කමිටුවේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ. “අලුත් මැතිවරණ පනතේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඇත්තටම මේක විකෘතියක්. නියෝජිතයින් 30%ක් සමානුපාතික ක‍්‍රමයෙන් කිව්වට 30% ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒක හදන සූත‍්‍රයෙත් අඩුපාඩු තියෙනවා. මේවා නිවැරදි විය යුතුයි. ඒ වගේම රටේ හැම මැතිවරණයක්ම පවත්වන විදිය එකක් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන වෙනස් වෙනස් විධි වෙන්න බැහැ. ලැබෙන ඡන්ද ප‍්‍රමාණයට අනුපාතික නියෝජනයක් හැමෝටම ලැබෙන බවට සහතික වෙන්න ඕනෑ” විජිත හේරත් පෙන්වා දුන්නේය.

“අලුත් පනතට අනුව පළාත් පාලන නියෝජිතයින් 6000ක් විතර පත්වෙනවා. කාන්තා නියෝජනය 25% එකතු කළාම මුළු නියෝජිත සංඛ්‍යාව 8000ක් පමණ වෙනවා. ඒක විශාල අර්බුදයක්. මොකද එතරම් ප‍්‍රමාණයකට ප‍්‍රාදේශීය සභාවල ඉඩකඩ නැහැ. ගොඩනැගිලි ප‍්‍රශ්න, මේස පුටු ප‍්‍රශ්න ඉඳලා සියල්ලම ගැටලුවක් වෙනවා” ඇමතිවරයා කීවේය.

“ඒත් අලුත් පනතේ අඩුපාඩු සකස් කරන්න අපිට බලතල නැහැ. ඉතාම සීමිත බලතල ප‍්‍රමාණයක් තමයි අපිට තියෙන්නේ” සීමා නීර්ණ අභියාචනා කමිටුවේ සාමාජිකයින් පැවසීය. 

සියලු දෙනාගේ අදහස් අනුව කොට්ඨාශ ක‍්‍රමයට 60%ක්ද සාමානුපාතික ක‍්‍රමයට 40%ක් වශයෙන් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ඇමතිවරයා එකඟතාව පළකළේය. ඇප මුදල් සංශෝධනය කිරීම සඳහාද අවධානය යොමු විය. “කැබිනට් අනු කමිටුවේ සාමාජිකයෝ හරියට කමිටුවට එන්නේ නැති එක නම් ලොකුම ගැටලුවක් වෙලා” ඇමතිවරයා සාකච්ඡාව අවසාන වෙනවිට කීවේ එවැනි දුෂ්කරතාත් තිබෙන බව අනෙක් අයගේ දැන ගැනීම සඳහා විය යුතුය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්