පරණ අගුපිල්වල තවත් රස්තියාදු නොවී නව පුනරුදයක දේශපාලන පෙරහැරට එකතු වන්න යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ ජනතාවට ආරාධනා කරයි.
ඔහු මෙලෙස ආරාධනා කළේ ඊයේ (06) මරදන්කඩවලදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ ජය තහවුරු කිරීමේ `රට අනුරට’ විජයග්රාහී රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ,
“ඡන්දෙට තිබෙන්නේ තවත් දවස් 14ක් පමණයි. අනුරාධපුර දිස්ත්රික් ජනතාවට මේ ඡන්දය විශේෂයි. අපේ එකෙක් රටේ නායකයා වෙන්න යනවා. අනුරාධපුරේ අනුර, ඉහළින්ම ඔසවා තබන්න, කැකිරාවේ, මිහින්තලේ ආසන දෙකේ ජනතාව සූදානම්. අනුර සහෝදරයා නැවත ඔබ හමුවන්න එන්නේ 14වැනිදා. ඒ තමයි අනුරාධපුරයේ ජයග්රාහී අවසාන රැලිය. මේ ජනාධිපතිවරණයේ කසකාරයෝ පෙරහැර එන බව කියන්න ඊයේ, පෙරේදා පටන් ගත්තා. තැපැල් ඡන්ද ප්රතිඵල ගැන බුද්ධි අංශ වාර්තාවල කියනවා රට හැමතැනම අනුර ඉහළින්ම එකට ඉන්න බව. මේ පණිවිඩය අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියන් ගම්වලට ගිහින් කියන්න. මීට කලින් විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කළ අය ඉන්නවා.
සමහර අයගේ පක්ෂ කාර්යාල දෙක තුනක් වහලා. රනිල් වික්රමසිංහ මහත්තයාගේ පක්ෂ කාර්යාලයක් කනත්තෙත් දාලා තිබෙනවා. මට හිතෙන්නේ වික්රමසිංහ මහත්තයාට තව තිබෙන්නේ සති දෙකයි. ඉදිරි සති දෙක ඉවර වෙනකොට රටේ මිනිසුන්ගේ සිහිනය, ජනතාවගේ සැබෑ නායකයෙක් රජරටින් එනවා. ජනතාවගේ සැබෑ නායකයා අනුර කුමාර දිසානායක ජනපති වෙනවා කියන පණිවිඩය ගමට අරගෙන යන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඉදිරි දවස් 14 ගම්බිම්වල ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට, අසල්වැසියන්ට මේ පණිවිඩය අරගෙන යන්න. තැපැල් ඡන්දේ පණිවිඩය ගමට ගෙනියන්න. මේ සමාජයම වෙනසක් වෙන්න සූදානම් වෙලා තිබෙන වෙලාවක, මුළු රටම එක පෙළට පෙළගැසෙන වෙලාවක, අවුරුදු 76ක දූෂිත දේශපාලනය අවසන් කරන්න පෙළගැසෙන වෙලාවක, ලෝකයේම මිනිස්සු රොද බැඳගෙන රටට එමින් තිබෙන වෙලාවක, පරණ වලව්වල, අගුපිල්වල රස්තියාදු නොවී නව පුනරුදයක දේශපාලන පෙරහැරට එකතු වෙන්න. එළඹෙන 21 රට අනුර බාර දෙන්න පෙළගැසෙන ජයග්රාහී පෙරහැරේ කොටස්කරුවෙකු වෙන්න කියන පණිවිඩය ගමට අරන් යන්න.
14 වැනිදා උදේ සෑම ග්රාම සේවා වසමකින්ම, සල්ගාදු පිට්ටනියට එන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ පණිවිඩයත් අරගෙන ගමට යන්න. හැම කෙනෙකුටම කියන්න. මුළු රටේම බලාපොරොත්තුව අපි හැමදාම සතුට සොයපු මිනිස්සු. ජීවිත කාලයම සතුට වෙනුවෙන් දුක් විඳපු මිනිස්සු. දරුවන්ගේ සතුට වෙනුවෙන් දවස් ගණන් නිදි මරපු මිනිස්සු. හේනෙ පැළේ, වෙළේ, දොළේ සතුට සොයපු මිනිස්සු. සතුට රැගෙන එන මහා දැවැන්ත පරිවර්තනයේ ආරම්භය ලබන 21දා. සමාජ පරිවර්තනයට මුල පුරන, ජනපති අනුරට රට බාර දෙන්න අවස්ථාව අපි හැමෝටම උදාවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් 14දා අනුරාධපුරේ සූදානම් කරන විජයග්රාහී රැලියට එකතු වෙන්න. අවසන් දවස වෙනකම් මහන්සි වෙමු. ගෙයක් ගෙයක් ගානේ යමු. ඥාතීන්ට හිතවතුන්ට කතා කරමු. 20 වැනිදා රෑ හොඳට නිදා ගනිමු. 21 උදේම නැගිටින්න. නැගිටපු නැති අය අවදි කරන්න. උදව් ඕන අයට උදව් වෙන්න. 21 ඡන්ද පොළට ගිහිල්ලා සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව, ඡන්ද පෙට්ටිය මාලිමාවෙන් පුරවලා නියත ජනාධිපති අනුර කුමාර දිසානායක බවට පත්කරන මෙහෙයුම සාර්ථක කරමු. ඒ වෙනුවෙන් ඉදිරි දින කිහිපයේ අපි මහන්සි වෙමු. අපේ කාර්යභාරයේ අවසාන හෝරාව එළඹිලා තිබෙනවා. අපේ ජීවිත කාලයේ බලාපොරොත්තුවේ අවසන් හෝරාවට ඇවිත් තිබෙනවා. මේ සති දෙකත් ඔබට වෙහෙස දැනෙයි. සතුට සොයපු මිනිස්සුන්ට, අපේ දරුවන්ට දෙන්න තිබෙන වඩාම හොඳ තෑග්ග, ජීවිතේ දරුවන්ට දෙන්න තිබෙන වටිනාම තැග්ග, මේ සමාජ පරිවර්තනයයි. මේ සමාජ පරිවර්තනය අත්පත් කර ගැනීම වෙනුවෙන්, ඉටුකර ගැනීම වෙනුවෙන් මේ සියලු දෙනාම එකට එකතු කරමු. රටම එක මිටට එකතු කරලා 21දා ‘රටම එකට, රට අනුරට’ බාර දෙමු. ඒ වෙනුවෙන් පෙළගැසෙමු.”













