නව කැබිනට් මණ්ඩලය හුදෙක් ඇස් බැන්දුමක් පමණක් බවත් එම නිසා එය පිළිගත නොහැකි බවත්, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
අතිපූජ්ය ත්රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ප්රකාශයට පත් කළ ප්රසිද්ධ ලිපිය තුළ ඇති කරුණු අනුව පවතින රජය ඉල්ලා අස්විය යුතු බවත් සියලු දෙනාට පිළිගත හැකි අන්තර් පාලන ආණ්ඩුවකට යා යුතු බැව් උන්වහන්සේලා සඳහන් කළ බවත් කාදිනල් හිමියෝ සඳහන් කරති.
මහනායක හිමියන්ගේ ඉල්ලීමද කනකට නොගෙන ජනාධිපතිවරයා විසින් පත් කළ කැබිනට් මණ්ඩලයද පිළිගත නොහැකි බව කාදිනල් හිමියෝ පවසති.
අමාත්ය මණ්ඩලය වෙනස් කිරීම හිසරදයට කොට්ටය මාරු කළා වැනි ක්රියාවක් වී ඇති බවද උන්වහන්සේ පවසති.
උන්වහන්සේ මේ බව පැවසූවේ රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (18) අගරදගුරු නිල නිවසේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිණි.
ප්රජාතන්ත්රවාදය යටපත් කරමින් හිතුවක්කාරී අයුරින් ආණ්ඩුව ගෙනයන මේ ක්රියා පිළිවෙත පිළිගත නොහැකි යැයි ද කාදිනල් හිමියෝ සඳහන් කරති.
පාලකයන් යනු කිසිසේත්ම රටක අයිතිකරුවන් නොවන බවද උන්වහන්සේ කියති. ඔවුන් යම් කිසි කාලයකට ජනතාව පත් කළ බාරකරුවන් බවත් රටේ අයිතිකරුවන් වන්නේ රටේ ජනතාව මිස අන් කිසිවෙකු නොවන බවත් කාදිනල් හිමියෝ අවධාරණය කරති.
මේ වනවිට උද්ඝෝෂණයේ නිරත පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු ලැබෙමින් පවතින බව අගරදගුරු හිමියෝ කියති. ඒ නිසා පුද්ගල ගෞරවය හා අයිතිවාසිකම් ගැන ජාත්යන්තරයේ අවධානය මේ මොහොතේ යොමුව ඇති නිසා අඥාන ක්රියා පිළිවෙතකට යොමු නොවන ලෙස පාලකයන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සඳහන් කරති.
යම් හෙයකින් විරෝධතා මර්දනය කිරීමට හෝ යටපත් කිරීමට උත්සාහ දරන්නේ නම් එය මුළු රටේම ජනතාවට එල්ල කළ ප්රහාරයක් සේ සැලකෙන බවද කාදිනල් හිමියෝ පවසති.
ජනතාව රැවටීමට වත්මන් නායකත්වය කටයුතු කරන්නේ නම් “තනතුරෙන් ඉවත් වී වැඩක් බලා ගන්න” යැයි තමන් වහන්සේ පවසන බවද උන්වහන්සේ කියති.
රට ගොඩනැගීමට නම් නව ක්රමයක් සකස් විය යුතු බවද ඒ යටතේ නීතිය දේශපාලන අධිකාරියට ඉහළින් සිටින සේ කටයුතු යෙදිය යුතු බවද කාදිනල් හිමියෝ පවසති.
යම් අයෙකු දූෂිතයකු බව ඔප්පු වුවහොත් එම පුද්ගලයාගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කිරීමට බලය පැවරෙන පරිදි දූෂණ විරෝධී කොමිෂන් සභාවක් මේ නව ක්රමය යටතේ ස්ථාපිත කළ යුතු බවද උන්වහන්සේ කියති.










