දිවයින පුරා ඩෙල්ටා කොවිඩ් ප්රභේදයේ පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බව නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් අද (03) පැවැති මාධ්ය හමුවකදී මාධ්යවේදීන් කළ ප්රශ්න කිරීමකට පිළිතුරු දෙමින් සඳහන් කර තිබේ.
මාධ්යවේදියෙක් – “වෛද්යතුමනි ඩෙල්ටා වෛරස් ප්රභේදයේ ආසාදිත පොකුරු දිවයින පුරා බිහිවීමේ හැකියාවක් තිබෙනවා ද?”
වෛද්ය හේමන්ත හේරත් මහතා – “අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ප්රභේදය ලංකාවේ තිබෙන බව දැන් අපි දන්නවා. මේක තියෙන රෝගියාව අපිට ඇහැට පේන්නේ නැහැ. ඒ නිසා මේ වෛරස ප්රභේදය ශරීරගත වූ අය අනන්තවත් ඉන්න පුළුවන්. ඒ අය මෙන්ම ඒ අයව ආශ්රය කරන අය සෞඛ්ය පුරුදු පිළිනොපැද්දොත් මේ වෛරස ප්රභේදය බෝ කිරීම සිදුවෙයි. මේ ප්රභේදය යම් යම් ස්ථානවලදී හමුවුණා කියලා මතයක් ගොඩ නැගිලා තියෙන්නේ සැහැල්ලුවෙන් කරන ප්රකාශ නිසා. එහෙම නැතුව සෞඛ්ය අංශයේ කිසිම කෙනෙක් පරීක්ෂණවලදී හෝ සාක්ෂි සහිතව මෙවැනි දෙයක් ප්රකාශ කරලා නැහැ. සාමාන්ය PCR පරීක්ෂණයකට වඩා මේ වෛරසය හඳුනා ගැනීමට සෑහෙන්න කාලයක් ගත වෙනවා. දින කිහිපයක් ගතවනවා. මේක සංකීර්ණ ක්රියාවලියක්.
මාධ්යවේදියෙක් – “මේ ඩෙල්ටා ප්රභේදය පිළිබඳව ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන් පරීක්ෂණ කරලා අවසන් වෙලා ඒ සම්බන්ධ වාර්තාව සෞඛ්ය අමාත්යාංශයට භාරදීල ද තියෙන්නේ ?”
වෛද්ය හේමන්ත හේරත් මහතා – “ඒ ඒ සාම්පල ලැබෙන පරිදි තමයි ඒ කටයුතු කෙරෙන්නේ. මේ දක්වා තහවුරු කරපු 05 දෙනෙක් ගැන අපිට තොරතුරු ලබාදීලා තියෙනවා. ඉදිරියේදී ආයේ තහවුරු වුණොත් අපිට දැනුම් දෙයි.”










