තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකවත් සංචරණය සීමා කළ යුතුයි – NIO සංවිධානය

තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකවත් සංචරණය සීමා කළ යුතුයි – NIO සංවිධානය

කොවිඩ් වසංගතය පැතිරීමේ ස්වභාවය සැළකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී තෝරාගත් දිස්ත්‍රීක්ක කිහිපයකවත් සංචරණය සීමා කිරීමට කටයුතු කළ යුතු බව ජාතික විද්වත් සංවිධානය පවසනවා.

එම සංවිධානය ඊයේ (05) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විශේෂඥවරයකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

” 2020 මාර්තු – අප්‍රේල් වලදී වගේ එහෙම නැතිනම් ඔක්තෝම්බර් වලදි වගේ දිගින් දිගට පැතිරෙන්න ඇරලා කුඩා ප්‍රදේශ හුදකලා කිරීමෙන් මේ තත්වය වෙනස් කරන්න බැහැ. මේ වෙලාවේ තෝරාගත්ත දිස්ත්‍රික්ක කිහිපයකවත් යම් කිසි ප්‍රමාණයකට සංචරණය සීමා කළ යුතුයි. රෝග වැළක්වීමේ ක්‍රියාමාර්ග දිගින් දිගටම ක්‍රමවත්ව පවත්වාගෙන යා යුතුයි. මේ ගෝලීය වසංගතයට මුහුණ දෙන්න ලෝකේ කිසිම කෙනෙකුට අත්දැකීම් නැහැ. මේ වගේ වසංගතයකට මුහුණ දෙන්නේ වසර 100කට විතර පස්සේ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඇතුළුව හැම කෙනෙක්ම මේ පවතින තත්වයන් තුළින් තමයි මේ වසංගතයට මුහුණ දෙන්න ඉගෙන ගනිමින් ඉන්නේ.

ලෝකය දෙයාකාරව මේ වසංගතයට මුහුණ දුන්නා. ඇමෙරිකාව,යුරෝපය,ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් තමන්ගේ රට තුළ ජනජීවිතය පවත්වාගනිමින් ව්‍යාපාර පවත්වා ගනිමින් මේ වසංගතයට මුහුණ දුන්නේ. නමුත් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, චීනය, තායිලන්තය වගේ රටවල් හැකිතාක් දුරට තමන්ගේ වෛරසය පැතිරීම වළක්වාගන්නත් මරණ වළක්වාගන්නත් කටයුතු කළා. දැන් ලෝකය පැහැදිලිවම තේරුම් අරගනිමින් ඉන්නවා ඇමෙරිකාවේ ට්‍රම්ප්ගේ ක්‍රමයට පාලනය කරපු රටවල් නෙවෙයි සාර්ථක කියලා.” යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගීවූ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

” අපි දන්නවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය ඉතාම අසරණ වෙලා ඉන්නේ. ජනතාවට විනයක් ඇතුව කටයුතු කරන්න කියලා මේ තත්වය වෙනස් කරන්න බැහැ. පරීක්ෂණ වැඩි කරන්න ඕන, නිරෝධායන ක්‍රියාවලිය වගේම ආසාදිතයින් හඳුනාගැනීම වේගවත් වෙන්න ඕන. අපි දන්නවා රෝහල්තුළ රැපිඩ් ඇන්ටිජන් කිට් විශාල ප්‍රමාණයක හිඟයක් තිබෙනවා. පහුගිය කාලේ මේ තත්වය පාලනය කරලා තිබෙන කොට ආණ්ඩුව අපි තමයි කරේ කියලා ඒ ජයග්‍රහණය බුක්ති වින්දා. හැබැයි අද අසාර්ථක වෙද්දි ජනතාව පිට පටවනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාව තියෙනවා හැබැයි මොනවද ඒකෙන් වෙන්නේ. මාස්ක් එකක් සැනිටයිසර් ටිකක් ජනතාවට අඩු මුදලට දෙන්න ක්‍රමයක් හදලා තිබෙනවද? ඉන්දියාවෙන් ඇල්කොහොල් ලීටරයක් ලංකාවට රුපියල් 250කට වගේ ගෙනල්ලා එකෙන් හදන සැනිටයිසර් ලීටරයක් රුපියල් 3000කට වගේ විකුණන්නේ. ව්‍යාපාරික පැලැන්තියක් මේ කොවිඩ් වසංගතයෙන් විශාල ලාභ උපයනවා. එහෙම කරලා කොවිඩ් මර්දනය කරන්න බැහැ.” යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ජාතික විද්වත් සංවිධානයේ නියෝජිත කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනුර කරුණාතිලක මහතා අදහස් දක්වමින්…

කොවිඩ් වසංගතය නිසා විශාල බලපෑමකට ලක්වෙච්ච ක්ෂේත්‍රයක් තමයි මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය. මේ වෙනකොට පාසල් අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනයක් බරපතළ කඩා වැටීමකට ලක්වෙලා. ඒ ගැන ආණ්ඩුවේ ප්‍රමාණවත් අවධානයක් මේ වෙනතුරුත් යොමු වෙලා නෑ. විශ්වවිද්‍යාල වල පාසල් වල සැනිටයිසර් ටිකක් දෙනවා ඇරෙන්න ළමයින්ගේ, ආචාර්යවරුන්ගේ, අනෙකුත් කාර්යමණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. උපදෙස් මාලා, චක්‍රලේඛණ වලින් කොවිඩ් මර්දනය කරන්න පුළුවන්ද අද වෙද්දි ජී. එල්. පීරිස් ඇමතිවරයා කවුරුහරි ලියල දෙන දේ කියවන ඇමතිවරයෙක් බවට පත්වෙලා. මේ ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමය තුළ හුදෙකලා සත්වයෙක් වෙච්ච ළමයෙක් තමයි අනාගතයේදී බිහිවෙන්නේ. බහුතරයක් ළමුන්ගේ දෙමාපියන්ට මේ අන්තරජාල අධ්‍යාපනය ලබා දෙන්න තරම් හැකියාවක් නැහැ. මොකක්ද ආණ්ඩුව ඒ වෙනුවෙන් කරලා තිබෙන්නේ. ආර්ථික හැකියාව හා දක්ෂතාවයත් ඇති ළමයි විතරක් මේ ක්‍රමය ඇතුළේ ඉතිරි වෙයි. බහුතරයක් ළමයි මේ ක්‍රමය නිසා අධ්‍යාපනයෙන් පිටමං වීමේ අනතුරක් තිබෙනවා. මේක වෙනස් කරන්න ආණ්ඩුව මැදිහත් නොවුනහොත් අනාගතයේ බරපතළ සමාජ ප්‍රශ්නයක් මේ නිසා ඇති වෙන්න පුළුවන්.” යනුවෙන් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්