මෙම වසර වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය අනුව ළමා හා කාන්තාවන් වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් 50%කින් කපා හැරීමට විරුද්ධව ජාතික ජන බලවේගයේ කාන්තාවන් පොල්දූව හන්දියේ සිදු කළ සාමකාමී අරගලයට ප්රහාර එල්ල කළ බියගුළු නායකයන් හමුවේ තව දුරටත් නිහඬව සිටීමට සූදානම් නැති බව අවධාරණය කරනු ලැබීය.
ජාතික ජන බලවේගයේ කාන්තාවන් අද පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ මාධ්ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය. එහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්රායි කැලී බල්තසාර් වැඩි දුරටත් දැක්වූ අදහස් පහත දැක්වේ.
මාර්තු 08වැනිදාට ජාත්යන්තර කාන්තා දිනය යෙදී තිබෙනවා. ඒ සුවිශේෂී දිනය පිළිබඳව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ හැටියට අදහසක් දෙන්න අපට තිබෙනවා. 1910 වැනි අතීතයේදී ඇමෙරිකාව දක්වා ඉතිහාසයක් කාන්තා දිනයට තිබෙනවා. කාන්තාවන්ගේ ඡන්ද අයිතියට අරගල කිරීමේ ප්රතිඵලයක් හැටියට විකාශනය වීමෙන් ජාත්යන්තර දිනය පසුකාලයක නම් කරනවා. කාන්තාවන්ගේ අරගල ඉතිහාසය, කාන්තාවන්ගේ සුවිශේෂී ගැටලු ආදිය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනවා. ලංකාවේ ගැහැනුන් මේ වන විට යම් දෙයක් දිනාගෙන තිබෙනවා නම්, ඒවා ලැබී තිබෙන්නේ ඉතිහාසයේ කළ අරගල නිසයි. 1931 සර්වජන ඡන්ද අයිතිය ලබා ගැනීමේදී වුවත් ඒ කාලයේ සිටි කාන්තාවන් අරගල කර තිබෙනවා. විශේෂයෙන්ම වාමාංශික ඉතිහාසයේ කාන්තාවන් ඉදිරියට ඇවිත් කළ අරගල නිසයි. රට ගොඩනැංවීමට කාන්තාවන් තවදුරටත් ශ්රම දායකත්වය දිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කර තිබෙනවා. නමුත් ඉතාමත් අමාරුවෙන් ජීවත් වන ලංකාවේ ගැහැනුන්ට තවදුරටත් දෙන්න ඉතිරිවී නැහැ.
අයවැයෙන් කාන්තාවන්ට ළමයින්ට වෙන්කරන මුදල් 50%කින් කපා හැරියා. එයට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට පොල්දූව හන්දියේ අපි අරගලයක් කළා. සාමකාමී අරගලයට බියගුලු නායකයන් ජල ප්රහාර එල්ල කර, අමානුෂික ප්රහාර එල්ල කළා. වසර ගණනාවක් පුරා නිවාසවලට කොටුකර සිටි කාන්තාවන් අද වෙන විට මර්දනයට බිය නොවී ධෛර්යවන්ත විදිහට අරගලවලට එකතු වන්නේ දුෂ්ට පාලකයන් නිසාමයි. විශේෂයෙන්ම දිනෙන් දින උග්රවන ණය බර හමුවේ ක්ෂුද්ර මූල්ය ණයවලට ලංකාවේ කාන්තාවන් විශාල පිරිසක් ගොදුරු වී සිටිනවා. අපි තවදුරටත් මෙහෙම ජීවත්වීම අවශ්ය නැහැ. අපේ රටේ කාන්තාවන් නිවාස තුළත් එතනින් පිටත් අසීමිත වෙහෙසවී වැඩ කළත් ජීවත්වීම අසීරුවී තිබෙන්නේ බදුබර දරාගැනීමට නොහැකි වීමෙන්. තමන්ගේ සෞඛ්යය ගැන නොසිතා දරුවන්ගේ අධ්යාපනයට වියදම් කරමින් තවදුරටත් නිහඬව සිටින්න කාන්තවන් සූදානම් නැහැ. ගැහැනු අපි එක මිටට කියලා ජාතික ජන බලවේගය වටා විශාල කාන්තාවන් පිරිසක් දිනෙන් දිනම එකතු වෙමින් මේ ජඩ දේශපාලනය අවසන් කරන්න ප්රබෝධයෙන් ඉදිරිපත්වී සිටිනවා. මාර්තු 08 වැනි දිනට යෙදී තිබෙන කාන්තා දිනය අපි 10 වැනි දින රොද බැඳගෙන සමරන්නේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි.










