ජලසම්පාදන හා ජලප්රවාහන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ පැවති ජලප්රවාහන මණ්ඩලය ඉතා සූක්ෂම හා සැලසුම්සහගත අයුරින් දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ තිබියදීම, නාගරික සංවර්ධන හා ආරක්ෂක ආමාත්යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරා ඇතැයි වාර්තා වේ.
මුදල් අමාත්යංශ ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවති රැස්වීමකදී ජලසම්පාදන හා ජලප්රවාහන මණ්ඩලයට දැරිය නොහැකි තරමේ ණයක් දේශීය බැංකුවලින් ලබාගැනීමට යෝජනා කර තිබේ. ජලසම්පාදන හා ජලප්රවාහන මණ්ඩලයේ සභාපතිවරයා එයට විරෝධය දක්වමින් පවසා ඇත්තේ බිලියන ගණන් මුදල් ලබාගැනීම මණ්ඩලයට දැරිය නොහැක්කක් බවයි.
කෙසේ නමුත් ඊට පසුව පසුගිය අප්රේල් මාසයේ හදිසියේම එම සභාපතිවරයා ජලසම්පාදන හා ජලප්රවාහන මණ්ඩලයෙන් ඉවත් කර එහි සභාපතිත්වයට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. ඩබ්ලිව්. රංජිත් ප්රේමසිරි මහතා පත් කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්යංශය යටතේ පවතින නිසා මේ වනවිට ජලසම්පාදන හා ජලප්රවාහන මණ්ඩලයටද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ක්රියා කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. පසුගියදා කොළඹ ජල සැපයුම පැය 72ක් අත්හිටුවීමට සිදුව ඇත්තේද එහි ප්රතිඵලයක් ලෙස යැයි වාර්තා වේ.
මෙසේ ලබාගන්නා ණය මුදල්වලින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් සංවර්ධන යෝජනා ක්රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා වේ.









