ගොඩක් අයට ඇපත් නැහැ

මෙවර මහ මැතිවරණයට තරග කළ ස්වාධීන අපේක්ෂකයන් 2498 දෙනෙකු තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වී තිබේ. මෙසේ රාජසන්තක කළ මුදල රුපියල් හතලිස් නව ලක්ෂ අනූ හයදහසකි (රු. 4,996,000).

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ 35ක් සහ ස්වාධීන කණ්ඩායම් 201ක් තරග කළ අතර, ඉන් පක්ෂ 05ක් පමණක් පාර්ලිමේන්තුවේ ආසන හිමිකර ගත්තේය.

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමස්ත ඡන්ද 28,587ක් දිනා ගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.25කි. මන්ත්‍රී ආසන කිසිවක් හිමිකර ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබුණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලබාගත්තේ ඡන්ද 7,369ක් පමණි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා සහ ආනන්ද සංගරී මහතා ඇතුළු පිරිස තරග කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඡන්ද 723 ක් ලබාගත් අතර, එය ප්‍රතිශතයක් ලෙස 0.006%කි.

පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය මැතිවරණයට ඉදිරිපත් වූ බොදුජන පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 9522 ක් වන අතර, ඔවුන්ටද පාර්ලිමේන්තු අසුනක් හිමිනොවීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරග කළ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජලිංගම් මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය 91කි.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක මහතා තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක 09 කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 149කි.

මූලාශ අද පුවත්පත

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්