රගර් ක්රීඩක මොහොමඩ් තාජුඩීන් අනතුරට පත් වූ KQ – 6543 අංක දරණ මෝටර් රථය ගින්නෙන් බරපතළ ලෙස පිළිස්සී ඇති බැවින් එම රථය ගිනි ගැනීම ගැටීමක් හේතුවෙන් ඇති වූ එකක් දැයි යන්න සම්බන්ධයෙන් මතයක් ප්රකාශ කළ නොහැකි බව ටොයෝටා ලංකා සමාගමේ මූලස්ථාන කාර්මික උපදේශක ඩබ්.එල්. විල්සන් පෙරේරා මහතා කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා වෙල ලිඛිතව දන්වා තිබේ.
වසීම් තාජුඩීන් සමග පිළිස්සීමට ලක් වූරථය සම්බන්ධයෙන් හා එම අනතුර පිළිබඳව විශ්ලේෂණයක් සිදුකර වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය විසින් ඉකුත් 14 වැනිදා ටොයෝටා සමාගම වෙත නිකුත් කරනු ලැබූ නියෝගයකට අනුව මෙම ලිඛිත වාර්තාව ලබා දී තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රථය සම්පූර්ණයෙන්ම ගිනි ගැනීමට ලක්ව ඇති බැවින් එහි ඇතුළත වානේ ලෝහ කොටස් හැර අනෙක් අලෝහ කොටස් හා මිශ්ර ලෝහ කොටස් සම්පූර්ණයෙන්ම උණු වී හැලී ගොස් ඇති බැවින් ද දීර්ඝ කාලයක් තුළ පාරිසරික හේතූන්ට භාජනය වීම නිසා රථයේ ඉතිරිව ඇති කොටස් මළ බැඳීමට ලක් ව ඇති බැවින් ද වාහනය පිළිබඳ අමතර මතයක් ප්රකාශ කළ නොහැකි බවය.
මෙම වාහනයට අදාළව රහස් පොලිසිය සපයා තිබූ ලියාපදිංචි සහතිකයේ ස්කෑන් පිටපතේ විස්තර අනුව එය ටොයෝටා (Vitz) විට්ස් වර්ගයේ වාහනයක් බවත් ටොයොටා වාහන සඳහා ශ්රී ලංකාවේ නියෝජිතයින් ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම විසින් ආනයනය කර ලියාපදිංචි අයිතිකරුට හෝ පෙර ලියාපදිංචි අයිති කරුවන්ට හෝ විකුණනලද වාහනයක් නොවන බවට ලේඛන පරීක්ෂා කිරීමෙන් තහවුරු වූ බවද ඉන් වාර්තා කර ඇත.
තවද ලියාපදිංචි සහතිකය අනුව මෙම වාහනය රීකන්ඩිසන් හෝ පාවිච්චි කරනලද වාහනයක් ලෙස ආනයනය කළ වාහනයක් බවට පෙනී යන බව දන්වා තිබිණ.
රථයේ ඇතුළත කොටස් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බැවින් අනතුර නිසා වාහනයේ මගී කුටිය හා එහි කොටස්වලට වූ හානිය නිශ්චය කළ නොහැකි බැවින් මෙම අනතුර නිසා රියදුරු හට ඇතිවිය හැකි බලපෑම ගැන මතයක් ප්රකාශ කළ නොහැකි බවට වාර්තාවේ සඳහන් ය.
මෙම අනතුර හේතුවෙන් රථයේ සුක්කානම ගැලවීයාමට හැකියාවක් නොමැති බවත් රථය ගිනි ගැනීමේදී ඇතිවන අධික තාපය නිසා සුක්කානමේ මතුපිට අලෝහ ආවරණය පිළිස්සී යන හැකි අතර එහි ලෝහ සැකිල්ල අදාළ උෂ්ණත්වයේදී උණු වී හැලීයාම සිදුවිය හැකි බවට වාර්තා මඟින් සමාගම අධිකරණය දැනුවත් කර තිබිණ.









