ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදකාරී තත්වයක – ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය මාධ්‍යයට කරුණු පැහැදිලි කරයි

ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදකාරී තත්වයක – ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය මාධ්‍යයට කරුණු පැහැදිලි කරයි

අවුරුදු 75කට වඩා පැරණි ඉතාමත් අබලන්ව ඇති ඉන්ධන ප්‍රවාහනය කරන නළ පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය රජයේ මැදිහත්වීම අවම වීම හේතුවෙන් මේ වනවිට මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව පැහැදිලි කරමින් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

ජනමාධ්‍ය නිවේදනයයි

ඛණිජ තෙල් ගොඩබාන නළ මාර්ගවල ප‍්‍රතිසංස්කරණ කටයුතු අඩාලවීමෙන් සිදුවිය හැකි හානිය අවධාරණය කිරීමයි.

ශ‍්‍රී ලංකාව තුළ ජාතික තෙල් අවශ්‍යතාවය සැපිරීම පිණිස විදේශ රටවලින් ඛණිජ තෙල් අඛණ්ඩව ආනයනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා ඛණිජ තෙල් නිෂ්පාදන ඇනවුම් කිරීම, නැව් මගින් ප‍්‍රවාහනය කිරීම, ගොඩබිමට පොම්ප කිරීම, වරායේ සිට ගබඩා සංකීර්ණය දක්වා නළ මගින් ප‍්‍රවාහනය සිදු කිරීම ඛණිජ තෙල් ක්ෂේත‍්‍රය තුළ අත්‍යවශ්‍ය අඛණ්ඩ රාජකාරියකි. එය සිදු කිරීම සඳහා වරායේ සිට කොලොන්නාව නිමා සංකීර්ණය දක්වා නළ මගින් තෙල් පොම්ප කිරීම සඳහා විවිධ විෂ්කම්බයෙන් යුත් නළ මාර්ග 05ක් පවතී. මෙම නළ පද්ධතීන් 05ම භූගතව ගමන් කරන අතර මෙම නළ වසර 75කට වැඩි කාලයක් භාවිතා කිරීම නිසා ඉතා අබලන් තත්වයටත්, අනතුරුදායක තත්වයටත් පත්ව ඇත. විවිධ අවස්ථාවලදී නළ මාර්ග පුපුරා යාම් සිදු වී ඇති අතර එමගින් ගිණි ගැනීම්, ජලයට මුසුවීම්, පරිසර හානි සිදුවී ඇත. අප වෘත්තීය සමිතිය විසින් මෙම තත්වය දිගින් දිගටම පෙන්වා දී ඇති අතර මෙම නළ මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීමේ වගකීම රජයේ මූලික වගකීමක් බවද අවධාරණය කර ඇත. අවසානයේ එක් නළ මාර්ගයක් පමණක් ප‍්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍යමය ප‍්‍රතිපාදන සහ සැලසුම් ගොඩනගන ලදී.

මෙම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේදී මූල්‍යමය ප‍්‍රතිපාදන ක්ෂේත‍්‍ර 02ක් තුළ විහිදී යයි. එනම් ඍජු ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහ ව්‍යාපෘතිය නිසා අවතැන්වන පිරිස් නැවත පදිංචි කිරීම සඳහා ලෙසය.

අවතැන්වුවන් නැවත පදිංචිකරවීමේ ගැටලුවට මුහුණ දීමට සිදුවූයේ දේශපාලකයින්ගේ ආශීර්වාදය මත විවිධ වකවානුවලදී එම භූගත නළ මාර්ගය මත නිවාස ඉදිකර ගැනීමට ඉඩ හැරීමයි. පසුව එම පුද්ගලයින් මැතිවරණ ලේඛණයට නම ඇතුළත්ව විදුලිය ලබාගැනීම ආදී ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ලද්දේද දේශපාලකයින්ගේ ආශීර්වාද මැදය. කෙසේ හෝ අද වනවිට ඔවුන් එම ස්ථානවල ස්ථිර පදිංචිකරුවන් වීම නොවැළැක්විය හැකි කරුණක්ව ඇත. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම රජයේ ප‍්‍රධාන වගකීමකි.

කෙසේ හෝ මෙම නළ මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සඳහා නැවත පදිංචි කිරීමට අදාල මූලික ප‍්‍රතිපාදනද මිලියන 1600කට වැඩි ප‍්‍රමාණයක් වෙන්කර ඇත. එම ඇස්තමේන්තුගත මුදල නිසි පරිදි කළමණාකරනය කර සැබෑ පදිංචිකරුවන් හඳුනා ප‍්‍රතිසංස්කරණ භූමිය වෙන්කර ගැනීම රජයේ ප‍්‍රධානතම වගකීමකි. මේ වනවිට ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා සංස්ථා සේවකයින් සහ ශ‍්‍රී ලංකා හමුදාව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු සිදු කරමින් සිටී. මෙම ව්‍යාපෘතිය කොලොන්නාව නිමාව දක්වා අවසන් කිරීමට ඉතුරුව ඇත්තේ තව මීටර් 140ක වැනි ප‍්‍රමාණයක් පමණි. මේ ප‍්‍රදේශය තුළ නිවාස 300කට ආසන්න පදිංචිකරුවන් ඉවත් කරගැනීමට නොහැකිව ව්‍යාපෘතිය අසාර්ථක මට්ටමට ඇද වැටීමට ආසන්නව පවතී.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් නොවුවහොත් ඛණිජ තෙල් ගොඩබෑම පිළිබඳව ගැටලුවකට මුහුණ දෙන අතරම ඒ නිසාම රට ඛණිජ තෙල් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැක. එසේම විදුලි බල මණ්ඩලය වෙත අඛණ්ඩව ඛණිජ තෙල් ලබාදීමද අඩාල විය හැක. එයටත් වඩා මෙම නළ මාර්ගය පුපුරා ගියහොත් එයින් වන හානිය මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමෙන් සිදු වූ හානයට වඩා වැඩිවිය හැකිය.

රජයේ ප‍්‍රධාන අමාත්‍යවරුන්  එක් පසෙකින් පීඩාවට පත්වන සැබෑ පදිංචිකරුවන්ට සහන ලබා දෙනවා වෙනුවට ඔවුන් ප‍්‍රකෝප වන අයුරින් කටයුතු සිදු කරනු ලබන අතරම අනෙක් පසින් සේවක නොසන්සුන්තාවයක් ඇති වන අයුරින් ප‍්‍රතිසංස්කරණ කටයුතු අඩාල වීමට ඉඩ හැර ඇත.

එබැවින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය නීත්‍යානුකූල තත්වයන් සහ මූල්‍යමය ප‍්‍රතිපාදන කඩිනමින් සපුරාලීම ඛණිජ තෙල් සංස්ථාවේ සහ රජයේ ප‍්‍රධාන වගකීමක් බව දැඩි ලෙස අවධාරණය කර සිටිමු. එසේම සේවක නොසන්සුන්තාවයක් ඇතිවන අයුරින් ව්‍යාපෘතිය අඩාල කර ඒ මතින් පීඩාවට පත්වන ජනතාවගේ අයිතිවාසිකම් නොසලකා හැර කටයුතු කිරීමට සූදානම් වන රජයේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙල හෙළා දකිමු. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේත් CPSTL ආයතනයේත් සේවකයින් මේ පිළිබඳව දැනුවත් කර මෙම ව්‍යාපෘතිය අඩාලවීමට තිබෙන සියලු ඉඩ ප‍්‍රස්ථා අවහිර කිරීම උදෙසා ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයකටම අවතීර්ණය වන බව අමාත්‍යාංශ බලධාරීන්ටත් රජයටත් අවධාරණය කර සිටිමු.

ස්තූතියි.

මෙයට,

අශෝක රංවල

සභාපති

ඛණිජ තෙල් පොදු සේවක සංගමය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්