නිරෝධායනයට රැගෙන ගිය ජාතික භික්ෂු පෙරමුණේ මාධ්ය ලේකම් කොස්වත්තේ මහානාම හිමියන් නිදහස් කරන ලෙස නියෝගයක් ඉල්ලා මාලිගාවත්ත සමාධි ධර්මායතනයේ විහාරාධිපති තංගල්ලේ සාරද හිමියන් විසින් අභියාචනාධිකරණයට හබයාස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පසුගියදා බත්තරමුල්ල ප්රදේශයේ විරෝධතාවයක නිරත වීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමෙන් පසු මුලතිව් ප්රදේශයේ මධ්යස්ථානයක් වෙත උන්වහන්සේ නිරෝධායනය සඳහා රැගෙන යනු ලැබීය.
අදාල හිමියන්ගේ කොරෝනා පරීක්ෂණ වාර්තා අනුව උන්වහන්සේට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවද පෙත්සමේ සඳහන්වේ.
ඒ අනුව පොලිස්පතිවරයා, නීතිපතිවරයා, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා, ප්රදේශයේ ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරීවරුන් මෙන්ම රාජගිරිය හා තලංගම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.










