කොරෝනාවෙන් බැටකන නේපාලයට මහ මැතිවරණයක්

කොරෝනාවෙන් බැටකන නේපාලයට මහ මැතිවරණයක්

කොරෝනා වෛරසය හමුවේ බැටකමින් සිටින නේපාල වැසියන්ට එළඹෙන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා දීමට නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී තීරණය කර ඇත.

ජානාධිපතිවරියට ලැබී ඇති බලතල අනුව ඇය පාර්ලිමේන්තුව විසිරවනු ලැබුවේ අග්‍රාමාත්‍ය පී.කේ. ෂර්මා ඕලි ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂ සන්ධාන ආණ්ඩුව තවදුරටත් වලංගු නොවන තත්වය හමුවේය. ඒ අනුව අදියර දෙකකින් මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර පළමු අදියර නොවැම්බර් 12 වැනිදාත් දෙවැනි අදියර නොවැම්බර් 19 වැනි දිනත් පැවැත්වීමට නියමිත බව නේපාල මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය 2018 වසරේ පැවති මහ මැතිවරණයෙන් නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පී.කේ. ෂර්මා ඕලි පත්වූයේ නේපාල කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගත වී බලය බෙදා ගැනීමේ එකඟතාවකට අනුවය. එහෙත් පැවැති මත ගැටුම් හේතුවෙන් එම සන්ධානය බිඳ වැටුණු අතර, ඕලී පසුගිය 2020 දෙසැම්බරයේ නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරනු ලැබූවත් එය නීත්‍යාණුකූල නොවන බව අධිකරණය තීන්දු කළ අතර ඕලී නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්න විය.

හටගත් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා නව රජයක් පිහිටුවීමට, ඕලි ටත් ප්‍රධාන විපක්ෂ නායකයා වන ෂෙර් බහුදුර් දියුඩා ටත් අවස්ථාවක් ලබා දුන් නමුත්, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වමින් නව රජයක් පිහිටුවීමට දෙදෙනාටම හැකියාවක් නොලැබුණු බැවින් ජනාධිපතිනී බිද්‍යා දේවි බන්ඩාරී, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමටත් තීරණය කර තිබේ.

ආසියාවේ බලවතුන් දෙදෙනාට මැදිව පිහිටා තිබෙන නේපාලයේ දේශපාලනය හා ආර්ථිකය දෙපසට දොලනය වන අතර කොවිඩ් වසංගතය හමුවේ දරුණු ලෙස ආර්ථික හා දේශපාලන පාරාජයකට ලක්ව සිටින අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ආසියාවේ බලවතා වෙන චීනයේ බලපෑම නේපාල මහ මැතිවරණයේ තීන්දුවට තීරණාත්මක ලෙස බලපෑම් සිදු කරනු ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්