නීති විරෝධී ලෙස විදෙස් මුදල් හුවමාරුවේ නිරතව සිටින ව්යාපාරිකයෙක් සහ ඔහුගේ සහෝදරයාව පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 21ක කප්පමක් ගත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (25) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කප්පම ගැනීමට හවුල්වී ඇති සිවිල් පොලිස් ඔත්තුකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි පවසමින් එම පොලිස් කණ්ඩායම “උනේඩියාල්” නමැති ව්යාපාරිකයා සහ ඔහුගේ සහෝදරයාව කොළඹ වේල්ල වීදියේදී මෝටර් රථයකින් පැහැරගෙන ඇත්තේ පෙරේදා (25) දහවල් කාලයේදීය.
ඒ වන විටත් ඔවුන් අත රුපියල් ලක්ෂ 21කක මුදල කප්පම් ලෙස ලබාගෙන ඇති අතර නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තිබේ. එම මුදල දිය නොහැකි බව එම ව්යාපාරිකයා පැවැසූ පසු එය රුපියල් ලක්ෂ 10කට අඩුවී ඇත.
සවස් වන තුරු කොළඹ තැන තැන ඔවුන් දෙදෙනාව රඳවාගෙන සිට, එකඟවූ මුදල ගෙන ඒම සඳහා ව්යාපාරිකයාගේ සහෝදරයාව නිදහස් කර ඇති බවත් ඔහු ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව කප්පම් පොලිස් කණ්ඩායම කප්පම් ලෙස ගත් රුපියල් ලක්ෂ 21ක මුදල්ද සමග අත්අඩංගුවට ගෙන ව්යාපාරිකයාව නිදහස් කර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.









