එන්නත් නිපදවීමට ලබා ඇති පේටන්ට් බලපත්‍ර ඉවත්කිරීමේ ඇමරිකානු ඉල්ලීම යුරෝපය ප්‍රතික්‍ෂේප කරයි !

එන්නත් නිපදවීමට ලබා ඇති පේටන්ට් බලපත්‍ර ඉවත්කිරීමේ ඇමරිකානු ඉල්ලීම යුරෝපය ප්‍රතික්‍ෂේප කරයි !

බුධිමය දේපල රැකීමේ අයිතියේ නීතිය ඉදිරිපත් කරමින් යුරෝපා සංගමයේ විධායක සභාව ලෙස සැලකෙන යුරෝපා කොමිසම එන්නත් සඳහා ඇමරිකාව ඉදිරිපත් කල යෝජනාව ප්‍රතික්‍ෂේප කර තිබේ. එම තීරණය සාධාරණිය කරලීම සඳහා විකල්ප යෝජනා රාශියක් ලෝක වෙළඳ සංවිධානයේ (WTO) අධීක්ෂණය සඳහා ඉදිරිපත් කර ඇති බවද මේ අතර වාර්තා වේ. කොමිසමට අනුව පේටන්ට් බලපත්‍ර ඉවත්කිරීම දීර්ඝ කාලින ක්‍රියාවලියක් වීම හේතුවෙන් මෙම තීරණයට එළඹී බවයි.

G20 රටවල් කණ්ඩායම තුල සිටින ඉන්දියාව හා දකුණු අප්‍රිකාවත්, oxfarm වැනි රාජ්‍ය නොවන සංවිධානත් එක්සත් ජාතින්ගේ සංවිධානය තුලත් හා ලෝක සෞඛ්‍යය සංවිධානය තුලත් දැඩි සටනක් ගෙන ගියේ යුරෝපීය හා ඇමරිකානු බහු ජාතික ඖෂධ සමාගම් විසින් එන්නත් සඳහා හිමි කරගෙන සිටින පේටන්ට් බලපත්‍ර අහෝසි කරන ලෙසට බල කරමිනි. එමගින් ලෝකයේ සියළු ඖෂධ සමාගම් සමග පරීක්ෂණ වල නිගමනයන් බෙදා ගනිමින් අදාළ එන්නත් නිෂ්පාදනය කඩිනම් කිරීමෙන් කොරෝනා වසංගතයෙන් පෙලෙන සියළු රටවල් ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි ඔවුන්ගේ තර්කය විණි. මෙම උත්සාහයට කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ ඇමරිකාවේ බයිඩන් පාලනයේද සහය ලැබී තිබිණි.

නමුත් යුරෝපා සංගමයේ සාමාජික රටවලින් තෝරා පත්කර යවන එහෙත් ඡන්දයෙන් පත්නොවන සාමාජිකයින් 27 දෙනෙකුගේ මුලිකත්වයෙන් රැස්වෙන එසේම නිලධාරීවාදී හා වඩාත් අන්ත ලිබරල්වාදී ආයතනය ලෙස නිතර චෝදනාවට ලක්වන යුරෝපා කොමිසම සියළු ප්‍රගතිශීලීන්ගේ පමණක් නොව ඇමරිකානු ජනාධිපතිවරයාගේ අපේක්ෂාවන්ද බිඳ දමමින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත. බහු ජාතික සමාගම් මෙහෙයවන ඖෂධ මාෆියාව කෙතරම් බලසම්පන්නද යන්න මෙයින් තව දුරටත් පැහැදිලිවන බව සිවිල් සමාජ සාමාජිකයින් පවසන අතර විවිධ නම් වලින් වෙළඳ පලට එන වැක්සීන සඳහා පරීක්ෂණ කඩිනම් කිරීම වෙනුවෙන් මුදල් ලබා දෙනු ලැබුවේ ජනතාව විසින් බවත් එම සොයා ගැනීම් වලට පේටන්ට් අයිතියක් ප්‍රකාශයට පත්කිරීමට මෙම සමාගම් වලට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් යුරෝපා කොමිසම පවසනුයේ මෙම යෝජනාවට ඇමරිකාව සහය ලබාදුන්නත් ඔවුන් මේ දක්වා කිසිදු වැක්සීනයක් ලොව අනෙකුත් රටවලට ලබා දී නොමැති බවත්ය. ඒ අනුව එන්නත් සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු රටවල් ඒවා අපනයනයට ඇති බාධක ඉවත්කරන ලෙස ඉල්ලා සිටින අතර එන්නත් නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර සම්මුතියක අවශ්‍යතාවය අවධාරණය කර ඇත. එමගින් එන්නත් නිෂ්පාදනය වේගවත් කර සාධාරණ මිලකට සියළු රටවල් ආවරණය වන පරිදි එන්නත්කරණය විශ්වීය අවශ්‍යතාවයක් බවට පරිවර්තනය කරගත හැකි බවත් යුරෝපා කොමිසමේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත. එන්නත් සඳහා අවශ්‍ය බලපත්‍රය අනිවාර්ය කිරීම හා එය යම් පාලන ක්‍රමවේදයකට යටත් කරලීම, සිදුවන අතුරු ආබාධ අනතුරකදී වන්දි ලබාදීමේ රක්ෂණ ක්‍රමයක්, කොමිසම යෝජනා කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්