
මෙරට වැඩකරන ජනතාවට අපහාස කිරීම සම්බන්ධයෙන් එ.ජා.ප නායක රනිල් වික්රමසිංහ මහතාත්, මහ ලේකම් තිස්ස අත්තනායක මහතාත් සමාව ගත යුතු බවත් ජාත්යන්තර ලෝකය පිළිබඳ මහා දැනුමක් ඇතැයි පවසන වික්රමසිංහ මහතාත්, ඔහුගේ මහ ලේකම්වරයාත් ජාත්යන්තර කම්කරු නීතිය හා අයිතිවාසිකම් පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා බවත් එම පක්ෂයේ කම්කරු නායක ලාල් පෙරේරා චෝදනා කරයි.
පසුගිය මැයි 01 වන දින යාපනයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළියේදී සම්මත කරගනු ලැබූ යෝජනා කිහිපය අතර ජාත්යන්තර කම්කරු සංවිධානයේ අංක 189 දරණ සම්මුතිය අපරානුමත කිරීම යන්නෙන් 4 වෙනි යෝජනාව ලෙස යෝජනාවක් ගෙන ආ බවත්, එය ජාත්යන්තර කම්කරු සංවිධානයේ යෝජනාව නොවන බවත් ඔහු ඊයේ (09) කොළඹ පැවති මාධ්ය හමුවකදී පැවසීය.
ලංකා ජාතික වතු කම්කරු සමිතියේ ලේකම්වරයා වන වේලායුදන් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාව නොමග යවා ඇති බවත්, තමන් නොදන්නා දෙයක් ඇත්නම් වැඩකරන ජනතාවට අපහාස නොකොට දන්නා කෙනෙකුගෙන් අසා දැනගත යුතු බවත් හෙතෙම කියා සිටී.
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති වන ජාතික සේවක සංගමය, රාජ්ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනය, ලංකා ජාතික වතු කම්කරු සමිතිය ආදී වෘත්තීය සමිතිවල නායකයින් සිය සාමාජිකයින් සූරාකමින් දූෂණ වංචා හා අක්රමිකතාවල නිරත වූවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ඔහු අවධාරණය කළේය.
මොවුන් වෘත්තීය සමිති නායකයින් නොව වෘත්තීය සමිති මුදලාලිලා බවත්, කම්කරුවන්ගේ දේපළ තමන්ගේ නමට ලියා ගනිමින්සාමාජිකයින්ගේ පොදු මුදල් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගන්නා බවත් කියා සිටි පෙරේරා මහතා මොවුන්ට එරෙහිව කොපමණ චෝදනා එල්ල වුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් නොගෙන පක්ෂ නායකයා හා මහ ලේකම්වරයා ඔවුන්ගේ සාක්කුවට වැටී ඇති බවත් පෙන්වා දුන්නේය.
මෙම වෘත්තීය සමිති නායකයින් මෙරට කම්කරු ජනතාව දැනුවත් කරන බවට බොරු වාර්තා දක්වමින් විදේශීය සංවිධාන වලින් මුදල් ගෙන්වා ගන්නා බවත්, කම්කරු නීති රීති හා වගන්තිවල අන්තර්ගතය පිළිබඳ මොවුන්ට වැදගත් නොවන්නේ ඒ නිසා බවත් ලාල් පෙරේරා මහතා චෝදනා කළේය.
ජාත්යන්තර කම්කරු සංවිධානයේ අංක 189 වන සම්මුතිය ගෘහස්ත ශ්රමය හා ගෘහස්ත සේවකයින් පිළිබඳව බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂ මැයි දින යෝජනාවලියේ 4 වන යෝජනාව සංක්රමණික සේවකයින් පිළිබඳව බවත් අවධාරණය කළ ඔහු කම්කරුවන් මේසා අර්බුද ගණනාවකට මුහුණදී සිටියදි ඔවුන් වෙනුවෙන් අරගල කරන්නට නොහැකි වෘත්තීය සමිති නායකයින්ගෙන් ඇති ප්රයෝජනය කුමක්දැයි ප්රශ්න කළේය.









