උතුරු නැගෙනහිරට ස්වයං පාලන අයිතිය ලබාගැනීම ඇතුළු තීන්දු 11කට සහය දක්වන පිරිසට TNA සහය

උතුරු නැගෙනහිරට ස්වයං පාලන අයිතිය ලබාගැනීම ඇතුළු තීන්දු 11කට සහය දක්වන පිරිසට TNA සහය

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 16 වැනි මහ සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේදී අද(30) පැවැත්වූ අතර එහිදී උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධකර ස්වං පාලන තන්ත්‍රයක් බිහිකිරීම ඇතුළු යෝජනා රැසක් සම්බන්ධව තීරණය කර තිබේ.

එම පක්ෂයේ සභාපති ධුරය නැවත වරක් මාවෙයි සේනාධිරාජා මහතාට හිමිවූ අතර එම මහතාගේ ප්‍රධානත්වයෙන් මහ සමුළුව කැඳවා තිබිණි. එහිදී පක්ෂය ඉදිරියේදී ගතයුතු පියවරයන් සහ පක්ෂයේ ස්ථාවරයන් සම්බන්ධව ද යෝජනා සම්මත කර ගැනීම සිදුවී ඇත.

ඊට අමතරව උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ගැටළුව, උතුරේ සිවිල් ජනතාව‍ගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත්කිරීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම හා හින්දු ජනතාව ජිවත්වන ප්‍රදේශයන්ගේ බෞද්ධාගමික ස්ථාන ඉදිකිරීම නැවැත්වීම ඇතුළු ප්‍රධාන යෝජනා 11 ක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් රජය වෙත ඉදිරිපත් කිරීමට එහිදි තීරණය වී ඇත.

එම ඉල්ලීම් මාලාව රජයට ඉදිරිපත් කොට මාස තුනක කාලයක් තුළ විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන  අතර, අදාළ ඉල්ලීම් මාලාව වෙත ලබාදෙන යහපත් ප්‍රතිඵල අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් සිය පක්ෂය සහයෝගය ලබාදෙන කණ්ඩායම තීරණය කරන බවද සමුළුවට සහභාගී වූ නියෝජිතයන් සඳහන් කර තිබේ.

යුධ සමයේ අවසන් කාල වකවානුව තුළ උතුරු නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධව රජයෙන් නිස්චිත පිළිතුරක් ගැනීම සහ දේශපාලන සිරකරුවන් ලෙස අත්අඩංගුවේ පසුවන පිරිස් නිදහස් කර ගැනීම සම්බන්ධව රජයට තව දුරටත් බල කළ යුතු බව පක්ෂ සභාපතිවරයා පවසා ඇත.

එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරිමට ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධව විරෝධය පල කිරීමටත් ඒ වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත් පක්ෂය තීරණය කර තිබේ.

මහවැලි එල් කලාපයේ උතුරු නැගෙනහිර පළාත්වල නව සිංහල ජනාවාස ඇති කිරීමට ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධව ද විරෝධය පල කිරීමට ද සම්මේලනයේදී තීරණය කර ඇත.

එසේම ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාවන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළයුතු බවට රජයට බල කිරීමට ද තීරණය වී ඇත.

අදාල යෝජනාවන් ඉටු කිරීමට රජයට මාස තුනක කාලයක් ලබා දීමටත් එම කාලය තුළ තම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් රජයට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කිරීමට තීරණය කළ බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්