ඇමෙරිකානු ආරක්ෂාව හා රැකවරණය ලබමින් තුර්කිය අස්ථාවර කිරීමට කුමන්ත්රණ සිදු කරන ඉස්ලාමීය ආගමික නායකයකු වන ෆෙටුුල්ලා ගුලෙන් තුර්කිය වෙත බාර දෙන්නැයී තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෙගෝන් ඇමෙරිකානු රජයෙන් ඉල්ලා තිබේ.
ජූලි මස 15 වැනි දින තුර්කි හමුදා කණ්ඩායමක් කුමන්ත්රණයක් සිදු කර තුර්කියේ පාලන බලය අත්පත් කර ගැනීමට උත්සාහ කළ අතර එම කුමන්ත්රණය පිටුපස ඇමෙරිකානු ආරක්ෂාව ලබන මෙම පූජකයා කටයුතු කරන බවට තුර්කි ජනාධිපතිවරයා මීට පෙරද ප්රකාශ කළේය.
ගුලේන් පූජකයා තුර්කියේ විපක්ෂ කණ්ඩායම්වලට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණන් ලබා දෙමින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හා ප්රහාරයන් සඳහා අනුබල දෙන බවටද චෝදනා එල්ල කරන තුර්කි ජනාධිපතිවරයා ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් තුර්කි පූජකයාට අනුබල ලබා දෙමින් සිටින බව පවසයි.
තුර්කි ජනාධිපතිවරා මේ අදහස් ප්රකාශ කර ඇත්තේ මෙක්සිකෝ රූපවාහිනී නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය. කෙසේ වෙතත් මේ වනවිට තුර්කියට එරෙහිව යුරෝපා සංගමය හා බටහිර රටවල් කටයුතු කරමින් සිටින අතර තුර්කි ජනාධිපතිවරයා රුසියාවට පක්ෂපාතී වීමත් සමග ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් විරසක වී තිබේ.









