“ආණ්ඩුව මේ ණය බර අද ජනතාවට බාරදී තිබෙනවා. ණය ගැනීමේ වගකිවයුත්තන් කවුද, ආර්ථිකය කඩා වැට්ටවීමට වගකිවයුත්තන් කවුද කියා බැලුවොත්, රාජ්ය මූල්යය සම්බන්ධයෙන් දුර්වල ප්රතිපත්ති ගෙන තිබෙන ශ්රී ලංකා මහ බැංකුව, වැරදි පිස්කල් ප්රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් අමාත්යාංශය සහ රට පාලනය කළ හැම දේශපාලනඥයෙකුම වගකියන්න ඕනෑ. මේ අය ආර්ථික අර්බුදය ඇති කරලා, ඔවුන් සුවසේ සිටියෙදී, එහි ගොදුරු බවට මේ රටේ අහිංසක ජනතාව පත්කර තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේ අද (12) පෙරවරුවේ පැවති මාධ්ය හමුවක් අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර,
“2010 – 2014 කාලසීමාවේ අපේ දේශීය විදේශීය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් ලෙස ගත්තාම තිබුණේ 76.13%ක අගයකයි. 2022 වන විට මේ දේශීය විදේශීය ණය ප්රතිශතයක් ලෙස 113.8%ක් දක්වා වර්ධනය වුණා. ප්රශ්නය වෙන්නේ මේ ගොල්ලෝ දිගින් දිගටම ණය ගත් එක. 2007 – 2014 කාලය ඇතුළත ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) මගින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5000ක පමණ ණය අරගෙන තිබෙනවා. 2015 – 2019 කාලය ඇතුළත යහපාලන ආණ්ඩුව ඩොලර් මිලියන පහළොස් දහසක් පමණ ISB මගින් ණය අරගෙන තිබෙනවා. රටේ සංවර්ධන ව්යාපෘති වෙනුවෙන් යැයි කියමින් මේ ණය අරගෙන ඒවා අවභාවිත කරමින් ණය කන්දක් ගොඩගසා තිබෙන එක තමයි අද රටට ප්රශ්නයක් වී තිබෙන්නේ. ආණ්ඩුව මේ ණය බර අද ජනතාවට බාරදී තිබෙනවා. ණය ගැනීමේ වගකිවයුත්තන් කවුද, ආර්ථිකය කඩා වැට්ටවීමට වගකිවයුත්තන් කවුද කියා බැලුවොත්, රාජ්ය මූල්යය සම්බන්ධයෙන් දුර්වල ප්රතිපත්ති ගෙන තිබෙන ශ්රී ලංකා මහ බැංකුව, වැරදි පිස්කල් ප්රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් අමාත්යාංශය සහ රට පාලනය කළ හැම දේශපාලනඥයෙකුම වගකියන්න ඕනෑ. මේ අය ආර්ථික අර්බුදය ඇති කරලා, ඔවුන් සුවසේ සිටියෙදී, එහි ගොදුරු බවට මේ රටේ අහිංසක ජනතාව පත්කර තිබෙනවා. ඔවුන් පළමුවෙනි වතාවට ජනතාවගේ ධනය ඍජුව සොරකම් කර තිබෙනවා. දෙවැනි වතාවට ඔවුන් බදු හරහා මහජනතාවගේ ධනය සොරකම් කරනවා. මේක තමයි තිබෙන විශාලම ගැටලුව.
මෙහිදී ජන ජීවිතය කොයිතරම් දුරට අඩාල වී තිබෙනවාද? IMF කොන්දේසියක් අනුව ක්රියාත්මක වෙන 2023 අංක 16 දරන මහ බැංකු පනත නිසා, මෙතෙක් මහ බැංකුවේ තිබූ ආර්ථික ස්ථායීකරණ අරමුණ ඉවත් වී යනවා. අද වනවිට කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත අති විශාල ප්රමාණයක් කඩා වැටී තිබෙනවා. ක්ෂුද්ර මූල්ය ණය මගින් ලක්ෂ 28කට වැඩි ප්රමාණයක් මේ වනවිට අසරණ වී තිබෙනවා. මේ ක්ෂුද්ර මූල්ය ණය අතර හිරවී තිබෙන්නේ ලක්ෂ 24ක් වන කාන්තාවන්. මහ බැංකුව මගින් කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තවලට 8% පොලියට සෞභාග්යා ණය ලැබුණට මේ පනතත් සමග සෞභ්යාග්යා ණය නතර වී තිබෙනවා. කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් පත් වී තිබෙන අපහසුතාවය ආවරණය කර ගන්න ණය යෝජනා ක්රමයක් මේ වනවිට නැහැ. ප්රාදේශීය කාර්යාලය මගින් ලබාදුන් ණය සහන අහිමි වෙනකොට මහ බැංකුව වරින් වර තමන්ගේ ප්රතිපත්ති පොලී අනුපාතිකය පහත දැම්මාට සැබෑවටම පහළ දැමීම, අනෙක් බැංකුවල ණය දීම් මත පිළිබිඹු වන්නේ නැති බව අපට පැහැදිලිවම පේනවා.
වැඩි පොලියකට ණයක් අරගෙන අපේ ව්යවසායකයන්ට තවදුරටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට අපහසුයි. ඒ වගේම ක්ෂුද්ර මූල්ය ණය අරගෙන ඒ මත හිරවීම නිසා කුඩා ව්යාපාර කරන කාන්තාවන් මේ වනවිට අසරණ වී තිබෙනවා. ඔවුන්ට 1%ක් වගේ දවස් පොලියට ණය ගන්න සිදුවෙලා තිබෙනවා. එය අවුරුද්දට 365%ක පොලියක්. මේ විදිහට දිගින් දිගටම කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටෙන කොට, ඒ නිසා රැකියා අති විශාල ප්රමාණයක් අහිමි වෙනවා. එය සාමාන්ය පවුල්වල ආදායම්වලට තර්ජනයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා දරිද්රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ප්රමාණය ක්රමයෙන් වැඩිවෙනවා. දැනට ජනගහනයෙන් භාගයක් පමණ දුප්පත්කමේ රේඛාවෙන් පහළට වැටී තිබෙනවා.
ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 පවර්ටි ලයින් එක ලෙස පෙන්වා දී තිබෙන්නේ පුද්ගලයෙකුට ජීවත්වීමට අවශ්ය අවම ආදායම රුපියල් 6966ක් ලෙසයි. 2023 දෙසැම්බර් වෙනකොට ජීවත් වීමට අවශ්ය අවම මුදල රුපියල් 16,524ක් දක්වා වැඩිවෙනවා. අතිශය විශාල උද්ධමනයකට මුහුණදීමත් එක්ක තමයි දරිද්රතා රේඛාව ඉහළට යන්නේ. ජීවත් වීමට පුද්ගලයෙකුට අවශ්ය අවම මුදල 16,524ක් දක්වා වැඩිවුණාට කිසිම කෙනෙකුගේ වැටුප් මේ දක්වා වර්ධනය වෙලා නැහැ. ඒක තමයි ජනතාවට විඳින්න සිදුවී තිබෙන විශාල ප්රශ්නය. මෙසේ මිනිස් ජීවිත කඩා වැටෙන කොට රැකියා අහිමි වෙනකොට ලෝක ආහාර වැඩසටහනේ කියනවා 31%ක් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව. හේතුව වන්නේ ජීවත්වීමට අවශ්ය ප්රමාණවත් ආදායමක් කුමන ආකාරයකින් හෝ ඔවුනට ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආදායම අඩුවෙලා යනකොට, සේවා නියුක්ති අවස්ථා නැතිවෙලා යන කොට පවුල තුළ විශාලම පීඩනය ඇති වෙන්නේ කාන්තාවටයි. මේ තත්වයෙන් කාන්තාවන් ගලවා ගැනීමට රජයට කිසිදු වැඩපිළිවෙළක් ඇත්තේ නැහැ. බහුවිධ දරිද්රතා දර්ශකයට අධ්යාපනය, සනීපාරක්ෂාව, පානීය ජලය, සෞඛ්ය පහසුකම් ආදී සෑම දෙයක්ම අන්තර්ගත වෙනවා. ජනතාවගෙන් 78.3%ක් සිටින්නේ ග්රාමීය ප්රදේශවල. මේ 78.3%ක් වන ජනගහනයෙන් 80.9%ක්ම දරිද්රතාවයට පත්වී සිටින බව බහුවිධ දරිද්රතා දර්ශකයෙන් පෙන්වා දී තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ, මේ රටේ ජනතාවගෙන් වැඩිම පිරිසක් දරිද්රතාවයට පත්වී තිබෙනවා. ඒත් එක්කම යුනිසෙෆ් වෙබ් සයිට් එක පෙන්වනවා සෑම දරුවන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කුසගින්නේ ඉන්න බව. ළමුන්ගෙන් මිලියන 2.3ක් අවශ්ය ආහාර නැතිව අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණ දී තිබෙනවා.
රජය ඡන්දය ඉලක්ක කොට, රුපියල් 7500ක් සහ 15,000 අස්වැසුම මගින් දෙමින් ජනතාව රවටනවා. මිනිසුන්ට අවශ්ය ආහාර දෙන්න රජයට වුවමනාව තිබුණා නම්, මීට ප්රථම එය දෙන්න තිබුණා. නමුත් දැන් සංඛ්යාව වැඩිකරමින් තව පිරිසකට අස්වැසුම දෙන්න කටයුතු කරනවා. මේ රුපියල් 7500ක් සහ 15,000ක් දෙන්නේ හතර දෙනෙකු සිටින පවුලකටයි. එක් පුද්ගලයෙකුට රු.16,524ක් අවශ්යයි. එසේ නම් පවුලකට මේ මුදල සතියක් හෝ ජීවත්වීමට කිසිසේත් ප්රමාණවත් වන්නේ නැහැ. මේ සහනාධාර බෙදීම වෙනුවට ආර්ථිකය ප්රසාරණය කරලා මිනිසුන්ට ජීවත් වීමට උපායමාර්ග සලසා දෙන්න ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. භාණ්ඩ මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන මොහොතේ හාල් කිලෝ 10ක් දී මිනිස්සු රවට්ටන සංස්කෘතියක් තිබෙන්නේ. ජනතාව තේරුම් ගන්න ඕනෙ මේ තාවකාලික සහන එළියට එන්නේ ඡන්දය බලාපොරොත්තුවෙන් පමණක් බව. සැබෑවටම සහන දෙන්න අවශ්ය නම් රටේ නිෂ්පාදනය වැඩිකරලා, ආර්ථිකය ප්රසාරණය කරලා මිනිසුන්ට අවශ්ය සහන ලබා දෙන්න හැකියාව තිබෙනවා.
මේ රටේ 1950 -1959 අවධියේ බාහිර ණය, අපනයනවල ප්රතිශතයට අනුව 11.3%යි. හැබැයි 2022 වෙනකොට එය 307%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අපනයන සැබෑ ලෙසම වර්ධනය වුණා නම්, අපේ අපනයන ණය ප්රතිශතය අඩුවෙන්න තිබුණා. සැබෑ ලෙස දරිද්රතාවය තුරන් කිරීමට අවශ්ය වී තිබුණා නම්, ජීවන තත්වය උසස් කිරීමේ වුවමනාව තිබුණා නම්, ආදායම් උපයන ක්රම රට තුළ නිර්මාණය කරන්න තිබුණා. ඒ නිසා තමයි අපි මේ රටට නිෂ්පාදන ආර්ථියක් අවශ්යයි කියා යෝජනා කරන්නේ. රජයේ ප්රධාන ආදායම් මාර්ග දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වඩා ලැබෙන්නේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තවලින්. කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙන කොට, ආදායම් උපයන මාර්ග ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැහැ. ජනතාවට ආදායම් කළමනාකරණය කිරීමට, ඉතිරි කිරීම සඳහා අවශ්ය දැනුම ඒ සඳහා මිනිසුන් යොමු කිරීමක් ඇති වෙන්නේ නැහැ. දරිද්රතාවයෙන් තුරන් කර ගැනීමට නම් සමජ බලගැන්වීමකට ගෙනියන්න ඕනෑ. සමාජය විසින් බලගන්වන්න නම්, මිනිසුන්ට කුසලතා ලැබෙන විදිහේ වැඩසටහන් තිබෙන්න ඕනෑ. එවැනි වැඩපිළිවෙළක් අපට පේන්න නැහැ. අපට දකින්න ලැබෙන්නේ සමාජ ආරක්ෂණ වැඩසටහනයි. මේ අස්වැසුම වගේ ඒවයින් පුංචි පුංචි සහන දුන්නාට, හාල් මලු බෙදුවාට කොයිම වෙලාවකවත් මේ ඇතිවෙලා තිබෙන දුගී බවේ දුෂ්ට චක්රයෙන් මුදා ගන්න හැකිවෙන්නේ නැහැ කියන එක පැහැදිලියි. ක්රියාත්මක වුණා නම් ඒ ඡන්දය ඉලක්ක කරගෙන ඡන්දයකදී පමණයි.
තිරසාර සංවර්ධනයක් මේ රටේ ඇති කරලා මිනිසුන්ගේ ජීවිත සැබෑ වශයෙන්ම උසස් තත්වයකට පත්කරන්න අවශ්ය නම් ජාතික ජන බලවේගය යෝජනා කරන විදිහේ දැවැන්ත ආර්ථික වර්ධනයකට ගෙන යා හැකි සමාජ පරිවර්තනයක්, නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ඕනෑ. මිනිසුන් නිෂ්පාදන කාර්යයට දායක වෙලා නිෂ්පාදනයේ ප්රතිඵල හැමෝටම භුක්ති විඳින්නට හැකි ආර්ථියක් ඇති කරන්න ඕනෑ. මෙතෙක් කිසිම පාලනයක් මේ රටේ මිනිසුන්ට සැබෑ ලෙසම උදව් කිරීමට, මිනිසුන්ගේ ප්රශ්න තේරුම් අරගෙන ක්රියාත්මක කරන වැඩපිළිවෙළක් ක්රියාත්මක කළේ නැහැ. අපි මිනිසුන්ට කියනවා මේ රැවටීම්වලට අහුවෙන්න එපා. සැබෑ තත්වය තේරුම් අරගෙන, සැබෑවටම ඔබේ ජීවිතය යහපත් කළ හැකි දේශපාලන ක්රමවේදයකට මේ රට පරිවර්තනය කරන්න එකතු වෙන්න.”










