අවුරුදු 5000 හදිසි තීරණයෙන් සමෘද්ධි සේවකයින් දැඩි පීඩාවක…

අවුරුදු 5000 හදිසි තීරණයෙන් සමෘද්ධි සේවකයින් දැඩි පීඩාවක…

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී හා සමෘද්ධිලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට ගනු ලැබූ හදිසි තීරණයෙන් සමෘද්ධි සේවකයින් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් පසුගිය කාලයේ රුපියල් 5000ස ලබා දුන් කාණ්ඩ 10 මෙවර 07ක් දක්වා සීමා කිරීම තුළ සමෘද්ධි සේවකයින් හා ජනතාව අතර ගැටුම් නිර්මාණය වීමේ ඉඩක් පැන නගින බවත් සඳහන් කරමින් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අප්‍රේල් මාසයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු එළඹෙන බැවින් මෙම වැඩසටහන හදිසියේ තීණය නොකර මනා සැලසුමකින් කල්තියා සංවිධානය කිරීමට ඉඩකඩ තිබූ නමුත් එවැනි සූදානමකට ඉඩ නොතබා හදිසියේ තීරණ ගැනීම විසින් මේ වනවිට ඇති කර තිබෙන තත්වයන් පිළිබඳවද මෙම ලිපිය මගින් සඳහන් කර තිබේ.

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ සිය අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

“අතිගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී හා සමෘද්ධිලාභී පවුල් හට රු.5000/ දීමනාව හදිසි තීරණයෙන් සමෘද්ධි සේවකයින් වෙත වු පීඩාව පිළිබඳව.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට පෙර සමෘද්ධි හා අඩු අදායම්ලාභී පවුල් වෙත රු.5000/ දීමනාවක් ලබා දීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශයෙහි මාධය අංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද අප්‍රේල් 10 වැනි දිනැති චක්‍රලේඛ අංක PTF/03-21 යන ලිපිය හා බැදේ,

ඒ අනුව ඔබ විසින් ගන්නා ලද හදිසි තීරණය ක්‍රියාවට නැංවීමේදී එය ගම්මට්ටමින් ක්‍රියාවට නංවන සමෘද්ධි සේවකයින් බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව අප සංගමය ඔබ වෙත මෙයින් කාරුණික අවධානයට යොමු කරවමු.

ආර්ථික වශයෙන් පීඩාවට පත් ජනතාවට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් යම් සහනයක් සැලසීමට ආණ්ඩුව ගත් තීරණය අප සංගමය අගය කර සිටින්නෙමු. සෑම වර්ෂයකම අප්‍රේල් 13 හා 14 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවන බව අප රටට නවමු අත් දැකීමක් නොවන අතර මෙම වැඩ සටහන පූර්ව සැලසුම් කර තිබුනේ නම් සහන අපේක්ෂා කරන ජනතාව හා සමෘද්ධි සේවකයින්ද මෙයින් පීඩාවට පත් නොවනු ඇති බව කණගාටුවෙන් වුවද අප සංගමය මෙයින් පෙන්නා දෙන්නෙමු.

රු.5000/ දීමනාව ලබා දෙන බවට ජනමාධ්‍ය ඔස්සේ පුර්ව ප්‍රචාරය කර ඇතත් දිවයින පුරා මෙම දීමනාව ලබා දීමට රු.බි.20 ආසන්න මුදලක් අවශ්‍ය වන අතර එම මුදල් සමෘද්ධි බැංකු වෙත අප්‍රේල් 12 පෙර ලබා දෙනවාද? මුදල් ලබා දෙන ක්‍රමවේදය කුමක්ද? පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නොතිබීම තුල සමෘද්ධි බැංකු පරිපාලනය බරපතල අනාගත මුල්‍ය ගැටලුවකට ඇද දමනු ඇති බව අපගේ විශ්වාසය වේ.

තවද #COVID-19 (#කොරෝනා වෛරසය) හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධි සහනාධාරලාභීන් හා අඩු ආදායම්ලාභීන් හට ජීවන තත්වය සමනය කිරීම උදෙසා මීට පෙර කාණ්ඩ 10 වෙත රු.5000/ දීමනාව ලබා දුන් අතර මෙවර එය කාණ්ඩ 07 සීමා කිරීම තුළ සමෘද්ධි සේවකයින් හා ජනතාව අතර ගැටුම් නිර්මාණය වන බැවින් මෙම කාර්යය හදිසියේ 12 හා 13 දින සිදු කිරීමට නොහැකි බැවින්, සැලසුම් සහිතව ඉදිරියේදී සිදු කිරීමට අවශ්‍ය කාලය සලසා දෙන ලෙස අප සංගමය සියලු සේවකයින් වෙනුවෙන් මෙයින් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චාමර මද්දුම කළුගේ,
ප්‍රධාන ලේකම්.
සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්