අභාවප්රාප්ත වූ සුභාවිත ගීත රචකයෙකු, කවියෙකු, ප්රවීණ මාධ්යවේදියෙකු වූ සමන් චන්ද්රනාත් වීරසිංහයන්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 17 වන බ්රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.
අද (16) පෙරවරු 10.00 සිට ඒ මහතාගේ දේහය අවසන් ගෞරවය සඳහා අංක 60 ෆොන්සේකා පාර, ලක්ෂපතිය, මොරටුව (අඟුලාන දුම්රිය පොළ පාරේ) යන ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.
යළිත් එම දේහය හෙට පෙරවරු 10.00 සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර එදින පස්වරු 04.00ට දේහය පිලිබඳව අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ ඒ මහතා මියයන විට 74 වන වියෙහි පසුවිය.
සමන් චන්ද්රනාත් වීරසිංහයන් ගීත 1,500 පමණ ලියූ රචකයෙකි.
ඒ අතරින් ජන හදවත් තුළ නොමැකෙන ගී පදවැල් සමුදායක් ඔහු විසින් රචනා කෙරිණි.
මාලනී බුලත්සිංහල ගයන ‘සඳ මඩලේ සිට‘ ගුණදාස කපුගේ ගයන ‘නාඹර ගොයමට‘, ඩී.ඩී ගුණසේන ගයන ‘සොඳුර මට සමුදෙන්න‘, පුන්සිරි සොයිසා ගයන ‘බිඳුවක් ඉවසා‘, කීර්ති පැස්කුවෙල් ගයන ‘කවිකාරියේ‘, දයාරත්න රණතුංග ගයන ‘සමකෝනී ත්රිකෝණයකි‘, ග්රේෂන් ආනන්ද ගයන‘ හිම රේණු වැටෙනා‘, සුජාතා අත්තනායක ගයන ‘හතර වටින් කළුකරගෙන‘ රූකාන්ත – චන්ද්රලේකා ගයන ‘සඳලේඛා‘ ඇතුළු ජනප්රිය ගීත රැසක් එම ගීත ගොන්නට ඇතුළත්.










