
ශ්රී ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ට ඉක්මනින් නිදහස ලබාදෙන ලෙසත්, එසේම යුද්ධයෙන් අනාථ වූවන් මේ වන තුරුත්, රැඳවුම් කදවුරුවල සිටීම පිළිබඳවත්, යුරෝපා සංගමයේ අවධානය යොමුවී ඇතැයි පසුගියදා ලංකාවේ සංචාරය කළ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ සභාපති ජින් ලැම්බට් මහතා ප්රකාශ කර ඇතැයි මාධ්ය වාර්තා පලවී ඇතිබවත් මෙවැනි ප්රකාශයන් හරහා අධිරාජ්යවාදී බලවේගයන් ලංකාවට මැදිහත් වීමට දරන උත්සාහයේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් අවධාරණය කරන බව සඳහන් කරමින් සහෝදරත්වයේ ජනතා පවුර (PWC) විසින් මාධ්යනිවේදනයක් නිකුත් කර ඇත.
එහි සමකැඳවුම්කරුවන් වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ගිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්යමකාරක සභික රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ අත්සනින් යුතුව එවා ඇති මාධ්ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.
“ශ්රී ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ට ඉක්මනින් නිදහස ලබාදෙන ලෙසත්, එසේම යුද්ධයෙන් අනාථ වූවන් මේ වන තුරුත්, රැඳවුම් කදවුරුවල සිටීම පිළිබඳවත්, යුරෝපා සංගමයේ අවධානය යොමුවී ඇතැයි පසුගියදා ලංකාවේ සංචාරය කළ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ සභාපති ජින් ලැම්බට් මහතා ප්රකාශ කර ඇතැයි මාධ්ය වාර්තා පලවී ඇත.
යුද්ධය නිමවී වසර 03ක් ගතවී ඇතත්, මේ වන තුරුත් උතුරේ හා නැගෙනහිර දේශපාලන රැඳවියන්ගේ සහ කඳවුරු වල ජීවත් වන තවමත් මුල් ගම්බිම් වල පදිංචි නොකළ ජනතාවගේ ගැටලූ විසදීමට ශ්රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව අවශ්ය තරමින් කටයුතු නොකරන බව අප කීප වරක්ම විවිධ ක්රම මඟින් රජයට අවධාරණය කර ඇත. රජයේ මැදිහත් වීම පිළිබඳව යුරෝපා සංගමය ඇතුළු ජාත්යන්තර ප්රජාව උනන්දු වීම හා ප්රකාශ නිකුත් කිරීම එම ජනතාවගේ ගැටලූ විසඳීම සඳහා වන අවංක මැදිහත් වීමක් නොව ලංකාව කෙරෙහි මැදිහත් වීම සඳහා ඉඩ හදා ගැනීමේ තවත් වෑයමක් බව අපි අවධාරණය කරමු.
යුරෝපා සංගමය ඇතුළු ජාත්යන්තර බලවේගයන්ට රැඳවියන්ගේ නිදහස පිළිබඳව ප්රශ්නය මාතෘකාවක් ලෙස යොදා ගැනීමට ඉඩ ප්රස්ථා ලබාදී ඇත්තේ ආණ්ඩුවේ ඒ පිළිබඳ කල් මරන අලස ප්රතිපත්තිය නිසා බවත්, එම නිසා මෙවැනි ප්රකාශයන් හරහා අධිරාජ්යවාදී බලවේගයන් ලංකාවට මැදිහත් වීමට දරන උත්සාහයේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් අවධාරණය කරමු.
රජය කළ යුතුව තිබුණේ යුද්ධය අවසන් වූ විගස දේශපාලන රැඳවියන්ගේ සහ කඳවුරුවල ජීවත් වන ජනතාවගේ ගැටලූ විසඳීමට වහා මැදිහත්වීමය. දේශපාලන රැඳවියන්ට අදාල නීතිමය කටයුතු කඩිනම් කර ඔවුන් වහා නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ප්රකාශ නිකුත් කිරීමට පෙර අප ඒ පිළිබඳව බොහෝ අවස්ථා වල රජයට අවධාරණය කර ඇත. අප එම අවධාරණයන් සිදු කර ඇත්තේ යුරෝපා සංගමය වැනි අධිරාජ්යවාදී ආයතනයන්ගේ කිඹුල් කඳුළු ප්රකාශවල අවශ්යතාවය පරාජය කිරීමද පශ්චාත් යුධ ගැටලූ විසඳීම තරම්ම වැදගත් නිසාය. නමුත් රජය අපගේ එවැනි සාධනීය යෝජනා ප්රතික්ෂේප කිරීමේ ප්රතිඵලය වී ඇත්තේ ජත්යන්තර බලවේගයන්ට ලංකාවට එරෙහිව යොජනා සම්මත කිරීමට හා ප්රකාශ නිකුත් කිරීමට ඉඩ ප්රස්ථා හදා දීමයි.
රැඳවියන්ගේ ගැටලූ මාතෘකා කර ගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වට හානි කරන ලංකාවට මැදිහත් වීමේ යුරෝපා සංගම් උත්සහයන් තරයේ ප්රතික්ෂේප කරන අපි තවදුරටත් දේශපාලන රැඳවියන්ගේ ගැටලූ සහ උතුරු හා නැගෙනහිර තාවකාලික කඳවුරුවල ප්රශ්න ජාත්යන්තර බලවේගයන්වල මාතෘකා බවට පත් නොකර එම ගැටලූ විසදීමට කඩිනමින් ක්රියා කරන ලෙස රජයට බලකර සිටිමු.”









