මහින්ද රාජපක්ෂවටා සිටින කණ්ඩායම මේ වනවිට දැඩි වියරු ප්රකාශ කිරීමට පටන්ගෙන තිබෙන අතර එසේ කරන අලුත්ම පුද්ගලයා වී ඇත්තේ දකුණු පළාත් සභාවේ ඇමතිවරයකු වන ඩී.වී. උපුල් නැමැත්තාය. ඔහු පසුගියදා තිස්සමහාරාමයේ පැවැති අනුගාමිකයින්ගේ රැස්වීමක් අමතමින් නාමල් රාජපක්ෂ ඉදිරියේ වියරුවෙන් ප්රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමෙන් පසුව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාගේ සිට අන්තිම කොස්තාපල්වරයා දක්වා ගල් ගසා මරා දමන බවය.
මහින්ද රාජපක්ෂ ආශිර්වාද පූජා නමින් රැස්වීම් පවත්වමින් පන්සල්වලට ගොස් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන කතා සිදු කරන අතර වෛරී දේශපාලනය පිට කරමින් සිටී. ඒ මග ඔස්සේ යමින් මුලින් විමල් වීරවංස, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල යන අය දේශපාලන ප්රචණ්ඩත්වයට හේතු වන ආකාරයේ කතා පැවැත්වූ අතර ඉන් පසුව පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී වාසුදේව නානායක්කාර කතා පැවැත්වීය. එය මේ වනවිට පළාත් සභා මන්ත්රී ඩී.වී. උපුල් ඉතා සෘජු ලෙස පොලිසියට මරණීය තර්ජන එල්ල කිරීම දක්වා ඉදිරියට ගෙන ගොස් තිබේ.
මහින්ද රාජපක්ෂට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා නොදෙන බව ඉතා පැහැදිලි ලෙස ජනාධිපතිවරයා ප්රකාශ කර තිබේ. මෙම පසුබිම තුළ කෙසේ හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව මහින්ද රාජපක්ෂගේ ප්රකාශකයින් ජනමාධ්යයට හෙළි කරන අතර ඔහු මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට මේ ආකාරයේ අති බිහිසුණු ප්රචණ්ඩකාරී පසුබිමක් සකස්කර ගනිමින් සිටී.









