විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් ඊයේ (04) අරඹන ලද ආචාර්යවරුන්ගේ වර්ජනයට කැලණිය සරසවිය සම්බන්ද නොවී ඇත්තේ එහි සංගම් සභාපතිවරයාගේ උපකුලපති සිහිනය හේතුවෙන් බව වාර්තා වේ.
වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවූ කැලණිය සරසවි ආචාර්යවරුන්ගේ රැස්වීමේදී සභාපතිවරයා විසින් වර්ජනයට නොගොස් ගැටලුව විසඳා ගතයුතු බව ප්රකාශ කර තිබේ. කෙසේ වුවද බහුතර ආචාර්යවරුන් ප්රමාණයක් අදහස් දක්වමින් ඉල්ලීම් ඉටු නොවන්නේනම් වර්ජනය කළ යුතු බවට තමන් පූර්වයෙන් තීන්දු කර ඇති බැවින් මේ අවස්ථාවේ මග නොහැරිය යුතු බව පෙන්වා දී ඇත. ඒ සඳහා අවශ්යනම් ජන්ද විමසීමක් කළ හැකි බවටද ඔවුන් විසින් යෝජනා කර තිබේ.
මේ අවස්ථාවේ ජන්ද විමසීමක් සඳහා තවත් සති දෙකකින් රැස්වීමක් කැඳවන බව ප්රකාශ කරමින් ඔහු රැස්වීමෙන් නැගිටගොස් ඇත. මේ තත්වය පිළිබඳව අදහස් දක්වන ආචාර්යවරුන් කියා සිටින්නේ, සභාපතිවරයා විශ්වවිද්යාලයේ උපකුලපතිවීමේ බලාපොරොත්තුවක සිටින බැවින් වර්ජනයෙන් කැලණිය සරසවිය තාවකාලිකව හෝ ඉවත්කර තැබීම මගින් ඔහු ඊට සුදුසුකම් එකතු කරමින් සිටින බවය.









