කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලය ඉවත් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත‍්‍රණය පරදවමු – SSU

කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලය ඉවත් කිරීමට ආණ්ඩුවේ ඇති සූදානමට විරුද්ධව සමාජවාදී ශිෂ්‍ය සගමය විසින් මාධ්‍ය නිවේදනයක් පළකර ඇත.

කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලය ඉවත් කර ගුවන් තොටුපලක් ඉදිකිරීමේ අමනෝඥ වැඩපිළිවෙළ වහා හකුළා ගන්නා ලෙසත්, කෘෂි විද්‍යාල වැඩිදියුණු කිරීමට වහා මැදිහත් වන ලෙසත් ආණ්ඩුවට බලකරන බව සඳහන්කරමින් එම සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව පළකර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ “ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කෘෂි අධ්‍යාපන ආයතනයක් වන ‘‘කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය’’ ඉවත් කර එම ස්ථානයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටි. ඒ සඳහා මැනුම් කටයුතු පසුගිය මැයි 8 දා සිදුකර ඇති අතර, මේ මස අවසන් වනවිට මුල්ගල් තබා තොටුපලේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

දේශීය කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන කෘෂිකර්ම උපදේශකවරු බිහි කිරීමේ අරමුණින් 1916 දී ආරම්භ කළ මෙම කෘෂිකර්ම විද්‍යාලයට වසර 100 ක පමණ කීර්තිමත් ඉතිහාසයක් ඇත. දැනටමත් ශිෂ්‍ය කණ්ඩායම් 91 ක් මෙහි ඉගෙනුම ලබා කෘෂිකර්ම උපදේශක ඩිප්ලෝමාධාරීන් ලෙස කෘෂි ‍ක්ෂේත‍්‍රයට ඇතුළත් වී ඇත. දෙවසරක ඩිප්ලෝමා පාඨමාලාවක් වන මෙය ශ‍්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයට අයත් ආයතන 12 ක දී ලබාදී ඇති අතර දැනට ක‍්‍රියාත්මක වන්නේ 5 ක් පමණි. ඒ මහනුවර දිස්ත‍්‍රික්කයේ කුණ්ඩසාලේ, මාතලේ දිස්ත‍්‍රික්කයේ පැල්වෙහෙර, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අඟුණකොළපැලැස්ස, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කරපිංච හා වව්නියාව යන ස්ථානවල පමණි. කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ඇති විශේෂත්වය වන්නේ සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂා තුනෙන්ම ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට ඇති එකම ස්ථානය මෙය වීමයි. මේ මොහොත වනවිට සිසුන් 225 කින් සමන්විත ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් මෙහි ඉගෙනුම ලබයි.

රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරනවා නම් කෘෂි අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් දියුණු කළයුතු මොහොතක, ඉතිරිව ඇති මෙවැනි ආයතනද වසාදැමීම ඛේදවාචකයකි. රටට අත්‍යවශ්‍ය වන කෘෂිකර්ම විද්‍යාලය ඉවත්කර ආණ්ඩුව විසින් ඉදිකරන්නට යන්නේ රටට මේ මොහොතේ අත්‍යවශ්‍ය නොවන ගුවන් තොටුපලකි. දැනටමත් කටුනායක ගුවන් තොටුපලද, ඉදිකෙරෙමින් පවතින වීරවිල ගුවන් තොටුපලද අපට උවමනාවටත් වඩා වැඩිය. ඒ අතර මෙවැනි අදූරදර්ශී තීන්දු ගැනීම රටේ ආර්ථිකය තවත් වටයකින් කඩා ඉහිරවා ජනතාව මත බර පැටවීමකි.

මේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව කළ දේත් ආපස්සට හරවමින් සිටින වර්තමාන ආණ්ඩුව පෙර සිටි අධිරාජ්‍යවාදී පාලකයන්ටත් වඩා රටට ද්‍රෝහී වී ඇත. රාජගිරිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉඩම ඉන්දියාවට විකුණමින්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉඩම තවත් කොම්පැණියකට විකුණන්නට සැරසෙමින් ආණ්ඩුව රටට ද්‍රෝහී ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.

එමනිසා කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලය ඉවත් කර ගුවන් තොටුපලක් ඉදිකිරීමේ අමනෝඥ වැඩපිළිවෙළ වහා හකුළා ගන්නා ලෙසත්, කෘෂි විද්‍යාල වැඩිදියුණු කිරීමට වහා මැදිහත් වන ලෙසත් සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්