S.B.- බන්දුල ඇමැති දෙබෑයන්ට අධ්යාපනය වැනි රටේ අනාගතය තීන්දු කරන වැදගත් අමාත්යාංශ බාරදීම රටේ විනාශය ඉක්මන් කරවන්නකැයි සමාජවාදී ශිෂ්ය සංගමය මාධ්ය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටී. එම ශිෂ්ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යතුව නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
“නිකුත් කරන ලද 2011 උසස් පෙළ ප්රතිඵල වෙනුවට, පැරණි හා නව විෂය නිර්දේශ සඳහා වෙන වෙනම ‘Z’ අගය ගණනය කර ප්රතිඵල නැවත නිකුත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇත. ආණ්ඩුවේ ඔළමොට්ටළ ඇමැතිවරුන් හා නිලධාරීන් විසින් රජයේ විභාග පිළිබඳ විශ්වාසය බිඳවට්ටා, නිදහස් අධ්යාපනය විනාශ කිරීමට කටයුතු කරන මොහොතක ශ්රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව ශිෂ්යයින්ගේ පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ජයග්රහණයකි.
ආන්දෝලනයට තුඩුදුන් අ.පො.ස. උසස් පෙළ ප්රතිඵල සති කීපයක ප්රමාදයකින් පසු නිකුත් වූයේ 2011 දෙසැම්බර් 26 දාය. ප්රතිඵල නිකුත් කළ සැණින්ම එය දෝෂ සහගත බවත් ප්රතිඵල උඩු යටිකුරු වී ඇති බවත් ශිෂ්ය සංගම්, ගුරු සංගම්, හා බොහෝ අය විසින් පෙන්වා දෙනු ලැබීය. ප්රතිඵල නිකුත් කර දෙදිනක් ගතවනවිටම අප කියා සිටියේ නිකුත් කළ ප්රතිඵල වහා අත්හිටුවා යළි ‘Z’ අගය විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම ගණනය කර, නැවැත ප්රතිඵල නිකුත් කරන ලෙසය. ඒත් මේ ප්රශ්නය සඳහා වගකිය යුතු බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක ඇමැති දෙපළ ද එවක විභාග කොමසාරිස් අනුර එදිරිසිංහද දැඩිව කියාසිටියේ ගැටලුවක් පවතින්නේ, දිස්ත්රික් කුසලතාවේ පමණක් බවයි. එය නිවැරදි කළ පමණින් සමස්ත ප්රතිඵලයම නිවැරදි වූ බව ඔවුහු පුන පුනා අවධාරණය කළහ. ‘Z’ සුත්රය හඳුන්වාදුන් මහාචාර්ය ආර්.ඕ. තටිල් මහතා ඇතුළු ආචාර්යවරුද එහි වැරැද්ද පෙන්වා දුන්විට ඔවුන්ට පවා අපහාස කරන තැනට ආණ්ඩුව තල්ලු විය.
ඇමැති දෙපළගේත් නිලධාරීන්ගේත් මෝඩ, උද්ධච්ච ක්රියාකාරකම් හමුවේ උසස් පෙළ ලියූ ලක්ෂ ගණනක සිසු සිසුවියන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට දැඩි මානසික අපහසුතාවයකට ලක්වීමට සිදුවිය. උසස් පෙළ ප්රතිඵල නිවැරදි කරන ලෙස ඉල්ලා ශිෂ්යයෝ, දෙමාපියෝ හා ගුරුවරු රටපුරා උද්ඝෝෂණය කළහ. එහෙත් ආණ්ඩුව බීරි අලින් සේ සිය මුරණ්ඩුකම දිගටම පවත්වාගෙන ගියේය. අවසානයේ අසාධාරණයට පත් ශිෂ්යයින්ට ශ්රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. ප්රතිඵල නිකුත් කළ සැණින් වරද පෙන්වා දුන් පසු, එය නිවැරදි කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ නම් මාස 7 කට ආසන්න කාලයක් සිසුන්ට, දෙමාපියන්ට මෙවැනි පීඩාවකට ගොදුරුවන්නට සිදු වන්නේ නැත.
මෙවැනි ඔළමොට්ටළ තීන්දු ගන්නා, ඒවා සාධාරණීකරණය කිරීම වෙනුවෙන් උද්ධච්ච ලෙස පෙනී සිටින S.B.- බන්දුල ඇමැති දෙබෑයන්ට අධ්යාපනය වැනි රටේ අනාගතය තීන්දු කරන වැදගත් අමාත්යාංශ බාරදීම රටේ විනාශය ඉක්මන් කරවන්නකි.
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නිවැරදි කළ අතිශය බරපතළ වරදේ වගකීම බාරගෙන, තවදුරටත් අධ්යාපනය විනාශ නොකර ඇමැති S.B. – බන්දුල ඇමැති දෙබෑයන් වහා ඉල්ලා අස්විය යුතු බව සමාජවාදී ශිෂ්ය සංගමය ලෙසට අපි බලකර කියා සිටිමු.”









