රටේ සියළු ඡන්ද දායකයින් තමන්ට හිමි ඡන්දය පාවිච්චි කිරීමේදී ඉතා බුද්ධිමත්ව සිතා මතා ඡන්දය පාවිච්චි කළ යුතු යැයි ජාතික විද්වත් වෘතික සංසදය හෙවත් NIPO සංවිධානය අද (18) පවත්වනු ලැබූ මාධ්ය හමුවකදී පවසා තිබේ.
එම සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින් වන භූ විද්යාඥ ඇන්ටන් ජයකොඩි මහතා, වරලත් ගනකාධිකාරී සුනිල් ගමගේ මහතා, වෛද්ය සුනිමල් ජයකොඩි මහතා, ඉංජිනේරු තිලක් පට්ටියකුඹුර මහතා මෙම සාකච්ඡාවට සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී ඔවුන් පවසා සිටියේ “1948 නිදහසින් පසු විවිධ ආණ්ඩු ප්රමාණයක් රට පාලනය කළත් සමාජ, ආර්ථික, දේශපාලන තත්වයන් අකණ්ඩව අර්බුදයට ගොස් ඇති බවයි.
“අපේ සංස්කෘතිය ඒ වගේම අපේ සදාචාරය, අපේ ආර්ථිකය, අපේ කෘෂිකර්මාන්තය ඒ වගේම අපේ ජීවත්වීමේ අයිතිය ඒවගේම පරිසරය යන නොයෙකුත් කරුණු කාරණා සම්බන්ධයෙන් ගතහොත් සියළුම දෑ පරිහානියට යමින් පවතිනවා. ඒ වගේම අනික් පැත්තෙන් විශාල ණය ප්රමාණයක් වැඩිවෙමින් පවතිනවා. මේ අර්බුදයට හේතුව කුමක්ද කියන කාරණය සම්බන්ධයෙන් අපේ රටේ සිටින විද්වතුන් හා වෘතිකයන් අතර සංවාදයක් ඇති කළ යුතුයි.
ඒ වගේම රටේ යහ පාලනයට අදාළ වන කරුණු සම්බන්ධයෙන් අධ්යානය කරලා ජනතාව දැනුවත් කිරීම සහ එයින් තිරසාර සංවර්ධනයක් ඇතිකරන්නේ කොහොමද කියන කතිකාවතක් ඇති කළ යුතුයි.
මෙවැනි අර්බුද පැවති සෑම ආණ්ඩුවක් යටතේම අඛණ්ඩව පැවතිලා තියෙනවා. ඒ සෑම ආණ්ඩුවක්ම බලයට ආවේ ජනතාවගේ ඡන්දයෙන්. අපි මේ කතා කරන වෙලාව කියන්නේ මැතිවරණය පවතින වෙලාවක්. අපි ඡන්දයක් තුළ ඡන්දය භාවිතා කරණ කොට අපි මොන ආකාරයෙන් හැසිරිය යුතුද කියන එක විශේෂයෙන් සැලකිල්ලට ලක්කරන්න ඕනා.”











