ආණ්ඩුව IMF ණය උගුලේ ලංකාව හිරකරයි! -අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගත් ණය මුදලත් ඉදිරියේදී ලබා ගැනීමට නියමිත ණයත් සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමින් අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.  එම ව්‍යාපාරයේ සම කැ‍‍දවුම්කරැ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි සහ කේ.ඩී. ලාල් කාන්ත යන අයගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2009දී අනුමත කළ ඩොලර් බිලියන 2.6 ණය ප‍්‍රමාණයේ අවසන් වාරිකය ලබා ගැනීමත් සමඟ ඊට අමතරව තවත් ඩොලර් මිලියන් 500ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගැනීමට ආණ්ඩුව සූදානම් බව වාර්තාවේ.  මේ අනුව වර්තමාන ආණ්ඩුව ශී‍්‍ර ලංකාව ණය උගුලක සිරකර තිබේ. ලංකාවේ විදේශ වත්කම් බරපතල මට්ටමකින් කඩා වැටීම නිසා ඊට පිලියමක් ලෙස 2009දී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.6ක ණයක් (ඇපකරයක්) ලබා ගත්තේය.  එය ලබාගත්තේ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟ වෙමිනි. ලංකාවේ අයවැය පරතරය 5% දක්වා අඩුකිරීම, මූල්‍ය නීති ලිහිල් කිරීම, ප‍්‍රාග්ධන ගිනුම විවෘත කිරීම, රුපියල පාලනයෙන් ආණ්ඩුව ඉවත්වීම වැනි කොන්දේසි  රැසකට ආණ්ඩුව එකඟ වූ අතර  සියල්ලම පාහේ දැන් ඉටු කරමින්ද සිටී. පසුගිය දිනවල ලංකාවේ රුපියල අවප‍්‍රමාණය වූයේ ඒ අනුවය. එහි ප‍්‍රතිඵලය  වන්නේ විදේශවලින් ගෙන්වන භාණ්ඩවල මිල ලංකාවේදී ඉහල යාමය. එය පොදු ජනතාව මත අමතර බරක් පැටවිමකි. පසුගිය කාලයේ අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනයට ලංකාව සූරාකෑම පහසුකිරීමට මූල්‍ය නීති ලිහිල්කර ආණ්ඩුව ලංකාවේ බදු ප‍්‍රතිපත්ති සකස් කළේද අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනවල උපදෙස් පරිදිය.

2009 වසරේදී මූල්‍ය අරමුදල විසින් ලංකාවට අනුමතකළ ඩොලර් බිලියන 2.6ක ණය ලංකාවට ලබා දුන්නේ වාරික ලෙසය. ඒ හැම වාරිකයකදීම ඔවුන් ආණ්ඩුවට කොන්දේසි පනවමින් ලංකාවේ ආර්ථිකය ඔවුන්ගේ වුවමනාවට අනුව හැසිරවීමේ අයිතිය ලබාගත්තේය. දැන් ජූනි මාසයේදී එම ණය මුදලේ අවසාන වාරිකය ලංකාවට ලබාදීමට නියමිතය. ඒ සඳහා ලංකාවේ ආර්ථික තත්වය සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ද ලංකාවට ඒමට නියමිතය. මෙම අවසාන ණය වාරිකයද ලබාගන්නවා හැර අන් විකල්පයක් ආණ්ඩුවට නැත. ඒ ණය වලින් තොර වෙනත් ආදායමක් ආණ්ඩුවට නැති නිසාය. ඒ වෙනුවෙන් තව තවත් කොන්දේසිවලට යට වෙමින් ලංකාව  අධිරාජ්‍යවාදයට පාවාදීම හැර අන් විකල්පයක් ආණ්ඩුවට නැත.

මහ බැංකු වාර්තාවට අනුව 2011  වසර අවාසන වනවිට  ලංකාවේ නොපියවූ රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 513,336 කි. ගතවූ මාස 5 තුළ මෙය තවත් වැඩිවී තිබේ. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ලංකාව උපයන හැම රුපියලකින්ම ශත 81ක් ණය ගෙවීමට වෙන්කිරීමට සිදුවීමය. ලංකාව පත්කර ඇති අර්බුදයේ තරම ඉන් තේරුම්ගත හැක. ආණ්ඩුව මූල්‍ය අරමුදලින් තවත් ඩොලර් මිලියන 500ක් ණයට ගැනීමට යන්නේ මෙවැනි තත්වයක් තිබියදීය’

අද වර්තමාන පාලනය යටතේ ලංකාවේ ආර්ථිකය රඳා පවතින්නේ ණය මත, බදු මත, දඩ මතය’ ඊට හේතුව නිෂ්පාදන ආර්ථිකයක් නොවීමය. ‘අපි වවමු-රට නගමු’ , ‘දිවි නැගුම’ වැනි බොරු නාස්තිකාර ප‍්‍රචාරක ව්‍යාපෘති මිස සැබෑ ලෙසම රටේ ආර්ථිකය දියුණු කිරීමේ ප‍්‍රතිපත්තියක් ආණ්ඩුව සතුව නැත” ජාතික ආර්ථිකය ගැන, දේශීයත්වයට මුල්තැන දෙන ආර්ථිකයක් ගැන කථා කළද අද ලංකාවේ ආර්ථිකයේ ප‍්‍රතිපත්ති තීරණය කෙරෙනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අධිරාජ්‍යවාදීන්ය. ලංකාවේ ආර්ථිකයේ ඉඩම් ඇතුලූ වටිනාම සම්පත්වල අයිතිය හිමිකරගනිමින් සිටින්නේද බහුජාතික සමාගම්ය. ඒ අනුව වර්තමාන ආණ්ඩුව දේශපාලන වශයෙන් පමණක් නොව  ආර්ථික වශයෙන්ද ලංකාව අධිරාජ්‍යවාදයට යටත්කර අවසන්ය.

ආණ්ඩුවේ කිසිදු උදව්වක්, මගපෙන්වීමක් නොමැතිව පවා නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ නියැළෙන සියලූ දෙනාට සිදුවී ඇත්තේ තම නිෂ්පාදන විකුණාගත නොහැකිව පීඩාවට පත්වීමටය. ආණ්ඩුවට විරෝධය පා නිෂ්පාදනයන්ගෙන් ඉවත්වීමටය. වී ගොවියා වී වලට ගිනි තබන විට, එළවලූ ගොවියා එළවලූ මහ මග දමා යනවිට, කිරි ගොවියා කිරි නිෂ්පාදනය පොළොවට හලන විට, කෙසෙල් ගොවියා කෙසෙල් කැන් පොළාවේ ගසන විට, බිත්තර නිෂ්පාදකයා බිත්තර පොළොවේ ගසන විට ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන කථා කිරීමට දෙයක් නැත. සැබෑ ලෙසම දේශීය නිෂ්පාදකයන් වන ඔවුන් මුහුණපා ඇති ප‍්‍රශ්නය එතරම්ම බරපතල වන විට ආණ්ඩුවේ දේශීයත්වය හා ජාතික ආර්ථිකය වංචාවක් හා ප්‍රෝඩාවක් බව තේරුම් ගැනීම දුෂ්කර නැත. ලංකාවේ නිෂ්පාදන කි‍්‍රයාවලිය දුර්වලව පැවතීම නිසා සිදුව ඇත්තේ කුමක්ද? විදේශ වෙළඳාමේදී පාඩු ලැබීමටය. 2011 වර්ෂයේදී ලංකාවේ අපනයන ආදායම රුපියල් කෝටි 10,487ක් වන විට ලංකාවේ ආනයන වියදම් රුපියල් කෝටි 20,230ක් හෙවත් දෙගුණයක් විය. ආණ්ඩුව කෝටි ගණනින් ණය ගන්නේ එම පාඩුව පියවාගැනීම සඳහායි. එහි ප‍්‍රතිඵලය අධිරාජ්‍යවාදී ණය උගුලක රට හිරකිරීම මිස අන් යමක් නොවේ.

එබැවින් ජාතික ආර්ථිකයක් ගැන දේශීයත්වයට මුල්තැන දෙන ආර්ථිකයක් ගැන පුරසාරම් දොඩවමින් බොරු දේශපේ‍්‍රමයක් හා අධිරාජ්‍යවිරෝධයක් පෙන්වමින් සැබෑ ලෙසම ලංකාව ආර්ථික වශයෙන් අධිරාජ්‍යවාදීන්ගේ ණය උගුලේ සිරකර ලංකාව අධිරාජ්‍යවාදයේ කෙළිබිමක් බවට පත්කර ඇති වර්තමාන ආණ්ඩුවේ අධිරාජ්‍යගැති කි‍්‍රයාකලාපය හෙළා දකින අපි මෙම අධිරාජ්‍යගැති පාලනය වෙනස්කර නිෂ්පාදනය මත පදනම්ව සැබෑ ආර්ථික සංවර්ධනයක් ගොඩනැගිය හැකි සමාජ වෙනසක් සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලූ ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්