එක්දින සහ පන්දුවාර විස්සයි 20 ජාත්යන්තර තරගවල නීති රීති කිහිපයක් වෙනස් කිරීමට පසුගිය සෙනසුරාදා සහ ඉරිදා ඉන්දීය ක්රිකට් හිටපු නායක අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් රැස්වූ ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ කමිටුවක් තීරණය කර තිබේ.
ඒ අනුව එක්දින ජාත්යන්තර තරගවලදී පළමු පන්දුවාර 10 පිතිකරුවන්ට ලබා දී තිබූ බැටින් පවර් ප්ලේ අවස්ථාව ඉවත් කිරීමටත් යාර 30 සීමාවෙන් එපිට රඳවනු ලබන ක්රීඩකයින් ගණන වැඩි කිරීමටත් තීරණය කර තිබේ. එසේම පන්දුවාර 40 සිට 50 දක්වා යාර 30 සීමාවෙන් එපිට රඳවනු ලබන ක්රීඩකයින් ගණන පස් දෙනෙකු දක්වා වැඩි කිරීමටද තීරණය කර තිබේ. සියලුම නිපන්දු සඳහා නිදහස් පහරක් ලබා දීමටද තීරණය කර තිබේ.
මීට අමතරව පන්දුවාර විස්සයි 20 තරග සඳහාද සියලුම නිපන්දු වෙනුවෙන් නිදහස් පහර ලබා දීමට යෝජනා වී තිබේ.
මේ වනවිට ක්රිකට් ක්රීඩාවකින් එහාට ගොස් ව්යාපාරයක් බවට පත් වී තිබෙන අතර එහිදී ක්රීඩකයින්ගේ ක්රීඩා විලාශය හා රිද්මය විශාල වෙනසකට බදුන් වී තිබේ. මේ පිළිඳව කෙරුණු අධ්යයනයකින් අනතරුව ICCය මෙම තීරණය ගෙන තිබේ. මෙහිදී වේගවත් ඉනිම් ක්රීඩා කරනු ලබන ක්රීඩකයින්ට මින් ඉදිරියේදී එයට සීමා පැනවීමක් හා පන්දු යවන්නන්ට එල්ල වූ පීඩනයෙන් නිදහස් වීමේ අවස්ථාව හිමි වන බව ක්රිකට් විචාරකයින් ප්රකාශ කරයි.









