පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමේ නෛතික තත්ත්වය අභියෝගයට ලක් කරමින් තමා අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයක් පිහිටුවීමට නෛතික ප්රතිපාදන නැතැයි ඔහු පෙත්සම ගොනු කරමින් කිසා සිටී.
නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ මාර්ගයෙන් ඔහු ගොනු කළ මෙම පෙත්සමේ කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා, පොලිස්පතිවරයා, පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්ය පොලිස්පතිවරයා, රහස් පොලීසියේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු හතළිස් හතර දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇතැයිද පැවසේ.
මේ අතර අදාළ පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීම සම්බන්ධයෙන් අග්රාමාත්ය කාර්යාලය ද අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වන්නේ පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තියට අනුකූලව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව, පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත ක්රියාත්මක වන පරිදි මෙම අංශය ස්ථාපිත කර ඇති බවය.
ඒ අනූව පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධව මේ වන විට මෙවැනි අංශ 64 ක් ක්රියාත්මක වන බවත්, ඒ අතර ත්රස්ත විමර්ශන ඒකකය, අපරාධ වාර්තා අංශය, අපරාධ පරීක්ෂණ අංශය, කොළඹ අපරාධ කොට්ඨාසය, මත්ද්රව්ය කාර්යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, වංචා විමර්ශන ඒකකය සහ පරිසර සංරක්ෂණ අංශයද වන බව එම නිවේදනයේ දැක්වේ.
ඒ අනූව පොලිස් මූල්ය අපරාධ විමර්ශන අංශය ද ස්ථාපිත කරන ලද්දේ ඊට සමාන අන්දමට බවත්, පොලිස් දෙපාර්තමේන්තුවට ඇති බලතල හැරුණු විට වෙනත් කිසිදු ව්යවස්ථාපිත බලයක් හෝ විශේෂ විධානයක් මූල්ය අපරාධ විමර්ශන ඒකකයට ලබා දී නැති බවත්, එහි දැක්වේ.









