අධ්යාපන ක්ෂෙත්රයේ සේවයේ නියුතු ගුරුවරුන් ඇතුළු සේවකයින් 150,000 ක් පමණ සාමාජිකත්වය දරණ කෝටි 2,000 කට අධික වත්කමකින්යුත් සී/ස අධ්යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම්කම හා ණය දෙන සමිතියෙහි (අධ්යාපන සමූපකාරය) ව්යවස්ථානුකූලව පැවැත්විය යුතු නිළවරණය නොපවත්වා ආණ්ඩුව විසින් ඊට නීති විරෝධීව පත්කළ අතුරු පාලක මණ්ඩලයක් හරහා එහි පාළනය ගෙන යන අතර මේ වන විට සමිතිය තුළ රාජ්ය බලය යොදා ගනිමින් බරපතළ මූල්ය වංචා රැසක් සිදුකරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
ඊයේ (19) කොළඹ ජාතික පුස්ථකාල ශ්රවණාගාරයේදී මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් පැවති අතර එහිදී ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරමින් පෙර සිටි සාමාජික ඡන්දයෙන් පත් වූ අධ්යක්ෂ මණ්ඩලය විසින් අධ්යාපන සමූපකාරයේ මූල්ය කළමණාකරණය විධිමත් කර සාමාජික පොළිය 7% දක්වා අඩු කර තිබුනද ආණ්ඩුව නීති විරෝධී ලෙස මෙම ආයතනයට පත් කළ හොර අතුරු පාළකයින් විසින් සමිතියේ දැනට ඇති කර තිබෙන මූල්ය අර්බුදය පියවීමේ පියවරක් ලෙස සාමාජික ණය පොලිය පළමුවරට 8% දක්වා ඉහළ දමා තිබෙන බවද ඉදිරියේදී මෙය තවත් ඉහළ දැමීමේ සූදානමක්ද තිබෙන බවද පැවසීය.
එමෙන්ම සාමාජික ණය සඳහා විවිධ සීමා කිරීම් පනවා ඇති අතර ණය කමිටු ප්රමාද කිරීම, ණය ඉල්ලූම්පත් භාර ගැනීම ප්රමාද කිරීම, ගනුදෙනු කරන දිනවලදී දවල් 12.00 න් පසුව ක්ෂණික ණය ඉල්ලූම්පත් භාර නොගැනීම, දේපළ ණය නැවැත්වීම හා ප්රමාද කිරීම, දිනකට පළාත් කාර්යාලවලින් නිකුත් කරන ක්ෂණික ණය ප්රමාණය සාමාජිකයින් 5 දෙනෙකු දක්වා සීමා කිරීම ඇතුළු තීරණ ගෙන ඇති අතර ඇතැම් තීරණ චක්රලේඛ මගින් අදාල නිලධාරීන්ට දන්වා යවා ඇති බවත් අනෙකුත් තීරණ අදාල පළාත් කාර්යාලවල නිලධාරීන්ට වාචිකව දන්වා එසේ කටයුතු කිරීමට බලපෑම් කරමින් සිටින බවත් ඔහු එහිදී පවසා සිටින ලදී.









