අධ්යාපන සමූකාර සමිතියට 2014 ජනවාරි මස සිට සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් පත් කරනු ලැබූ නව සාමාන්යාධිකාරීවරයා වැඩ භාරගෙන මසක් ඉක්මවීමටත් පෙර එම තනතුරෙන් ලිඛිතව ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
අභ්යන්තර ආරංචිමාර්ග අනුව මෙයට මූලිකවූ කාරණය වී ඇත්තේ සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත කළ ස්ථානමාරු පොදු ප්රතිපත්තියට අනුව සේවක ස්ථානමාරු ලේඛන සකස් කිරීමේදි දැනට සමිතියේ අතුරු පාලක මණ්ඩලයේ ප්රධාන ලේකම්වරයා යටතේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකු පළාත් කාර්යාලයකට ස්ථානමාරු කිරීමට සිදුවීම බව අනාවරණය වී ඇත.
වාර්ෂික ස්ථානමාරු කිරීමේ ලකුණු ලේඛන සමිති අභ්යන්තරයේ ප්රසිද්ධ කිරීම පිළිබඳව උදහසට ලක්වූ ප්රධාන ලේකම්වරයා සාමාන්යාධිකාරීගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු ඇසීමටද කටයුතු කර ඇත. මේ පිළිබඳව ඇති වූ කලකිරීම සහ තවදුරටත් එම තනතුරෙහි ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි තත්වයද මත සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් පත්කරනු ලැබූ මෙම නව සාමාන්යාධිකාරීවරයා මාසයක් වැනි කෙට් කාලයක් තුළ එම තනතුරෙන් ඉල්ලාඅස්වීමට කටයුතු කර ඇත.
2011.05.12. දින මෙම සමිතියට සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් පත්කරනු ලැබූ අතුරු පාලක මණ්ඩලය පාලනය භාරගෙන මසක් වැනි කෙටි කාලයක් තුළ එවකට සමිතියෙහි රාජකාරී කටයුතුකළ සාමාන්යාධිකාරී වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරනු ලැබූ බවත් වසර 03 කට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් එම විනය පරීක්ෂණ කටයුතු අවසන් කිරීමටද කටයුතු කර නැති බව අධ්යාපන සමූපකාර පොදු සේවක සංගමයේ ලේකම් මොනිකා කණ්ඩම්බි මහත්මිය පවසයි.
සමිතියේ පවතින මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් සේවකයින්ගේ නිශ්චිත ස්ථාන මාරු ලබා නොදීම පිළිබඳව තම සංගමයේ දැඩි විරෝධය වත්මන් අතුරු පාලක මණ්ඩලය වෙත පල කර සිටින බවද මොනිකා මහත්මිය වැඩිදුරටත් පවසයි.









