එස් බී රාජකීය බොරු කියයි – නලින්ද

එස් බී රාජකීය බොරු කියයි – නලින්ද

පොදුරද සමුළුවේ ආරාධිතයෙකු ලෙස පැමිණෙන බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා ලවා මීරිගම ආයෝජන කලාපය තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට ආණ්ඩුව සුදානම් වන බව පවසා ඊට විරෝධය පළ කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් අද (29)පෙවරවරුවේ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමාසාරිස් කාර්යාලය වෙත පැමිණ පෙත්සමක් භාරදෙන ලදී.

සමාජවාදී ජාතික ශිෂ්‍ය සංගමය විසින් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට භාරදුන් පෙත්සම පහත පළ වේ.

“චාල්ස් කුමාරයා අතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල් තැබීමට විරෝධය ප‍්‍රකාශකිරීම

2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන චාල්ස් කුමාරයා අතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල් තැබීමට යන බව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒ, එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයේ ශාකාවක් ලෙස මීරිගම ආයෝජන කලාපය තුළ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහාය. මෙම ආරම්භයත් සමග ශී‍්‍ර ලංකාව තුළ “අධ්‍යාපන වෙළඳ කලාප” 06ක් ඇතිකර විශ්වවිද්‍යාල උපාධි විකිණීම නීතිගත කිරීමට ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව සූදානම්වේ.

ශ‍්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ1940 දශකයේදීය. ගතවූ වසර 70 තුළ එය විවිධ කප්පාදු කිරීම්වලට ලක්වුවද තවමත් යම් පමණකට හෝ රැක ගෙන ඇත්තේ ශ‍්‍රී ලාංකීය ජනතාව හා ශිෂ්‍ය ව්‍යාපාරය සිදුකළ දැවැන්ත කැපකිරීම් හේතුවෙනි. 1977 සිට ශ‍්‍රී ලංකාවේ බලයට පත් විවිධ ආණ්ඩු විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකර නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උත්සාහ කළ සෑම මොහොතකම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය විශේෂයෙන් සටන් කර ඇත. 1987 පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය තුළ මෙරට විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දහස් ගණනක් ඝාතනය විය. එහෙත් අවසානයේ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමෙන් එම සටන ජයග‍්‍රහණය කිරීමට අපි සමත්වීමු. එතැන් සිට ගතවූ වසර 25 තුළ උපාධි ප‍්‍රදානය කරන පෞද්ගලික ආයතන කීපයක් විනා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු අසමත්විය.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මේ ගනු ලබන්නේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධව තීරණාත්මක පියවරකි. එනිසා ශිෂ්‍ය ව්‍යාපාරයට හා රටේ පොදු ජනතාවට ද මෙය තීරණාත්මක අවස්ථාවකි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මොහොතේ, රටේ අවධානය ඒ සඳහා යොමුව ඇති මොහොතේ තමන්ට වසර 25ක් තුළ ඉටුකර ගත නොහැකිවූ කාර්යයක් චාල්ස් කුමාරයා ලවා මුල්ගල තබා සිදුකර ගැනීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සූදානම් වන බව පෙනේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳ අපගේ දේශපාලන විග‍්‍රහය පසෙක තිබියදී මෙම මුල්ගල් තැබීම හරහා ඇරඹීමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාලයට හා “අධ්‍යාපන වෙළඳ කලාපවලට” කිසිසේත් ඉඩදිය නොහැක.

එනිසා ශ‍්‍රී ලංකාවේ සාතිශය බහුතර ජනතාවක් හා මුළුමහත් ශිෂ්‍ය ව්‍යාපාරය විරුද්ධ වී සිටින පෞද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා මුල්ගල තැබීමට චාල්ස් කුමාරයා සහභාගි වීම පිළිබඳ අපගේ දැඩි විරෝධය ප‍්‍රකාශ කර සිටිමු. එසේම එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයේ ශාකාවක් ලෙස මීරිගම ආයෝජන කලාපය තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමටද අපගේ බලවත් විරෝධය පළ කරමු. මෙම අවස්ථාවේ හෝ අනාගතයේ මේ සම්බන්ධව මතුවන විරෝධතා හා ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනකාරී ප‍්‍රතිචාරවලට අනියමින් එංගලන්ත රජයද වගකිව යුතුබව අවසාන වශයෙන් මතක් කර සිටිමු.“

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්