යම් යම් නීතිමය කටයුතුවලදී අවශ්යවන DNA විශ්ලේෂණ වාර්තා නිකුත් කිරීමේදී මේ දිනවල පවතින දැඩි ප්රමාදයට හේතු වී ඇත්තේ ඩොලර් හිඟය බව හෙළි වේ.
මේ බව හෙළිවන්නේ අධිකරණ මස්තු විද්යා හා DNA විශ්ලේෂණ අංශය විසින් වාර්තා නිකුත් කිරීමේ කටයුතු ප්රමාද වන බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කළ දැනුම්දීමකින් පසුවය.
අදාළ පරීක්ෂණ සඳහා අවශ්ය රසායනික ද්රව්ය හිඟවීම සහ ආනයනය කිරීමට ඇති බාධා හේතුවෙන් එම ප්රමාදයන් සිදුවන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ මස්තු විද්යා හා DNA විශ්ලේෂණ අංශ වෙත මසකට නඩු 150ක් පමණ නඩු භාණ්ඩ ලෙස ලැබෙන අතර ඒ අනුව වාර්තා 200ක් පමණ මසකට නිකුත් කරනු ලබයි.
මෙම පරීක්ෂණ සඳහා භාවිතා කරනු ලබන විශේෂිත රසායනික ද්රව්ය සියල්ලම විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන අතර එම රසායනික ද්රව්ය නියමිත පරිදි ලබාදීමට නොහැකි බව අදාළ රාසායන ද්රව්ය සපයන ආයතන විසින් දැනුම්දී ඇති බවද වාර්තා වේ.
රසායනික ද්රව්ය ගෙන්වීම සඳහා විදේශ මුදල් හුවමාරුව අපහසුවීම සහ කොවිඩ් වසංගත තත්වය හමුවේ එම රසායනික ද්රව්ය නිෂ්පාදනය අඩාල වීම මෙම තත්වයට බලපා ඇති බව සඳහන්ය.
ඒ අනුව අධිකරණ මස්තු විද්යා හා DNA විශ්ලේෂණ අංශ මඟින් අදාළ වාර්තා නිකුත් කිරීමේ කාලය ප්රමාද වන අතර රසායන ද්රව්ය සාමාන්ය පරිදි ලබාගත් පසුව නැවත නියමිත පරිදි වාර්තා නිකුත් කිරීම සිදුකරන බව රස පරික්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.










