CID අධ්‍යක්ෂ ශානි අබේසේකරද? මෙවන් සිල්වාද? තීරණය අද

CID අධ්‍යක්ෂ ශානි අබේසේකරද? මෙවන් සිල්වාද? තීරණය අද

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කවුරුන්ද යන ජාතික පොලිස් කොමිසම විසින් අද (31) තීරණය කරනු ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසු පුරප්පාඩු වූ එම ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ නම පසුගියදා පොලිස්පතිවරයා විසින් යෝජනා කරනු ලැබ ඇති නමුත් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරියකු වන ශානි අබේසේකර මහතාගේ නම එහි අධ්‍යක්ෂ තනතුරට යෝජනා නොකළේ ඇයිදැයි ප්‍රශ්නයක් පැන නැග ඇති බව වාර්තාවේ.

ශානි අබේසේකර මහතාගේ නම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට යෝජනා නොකිරීම ගැන පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේම දැඩි කතා බහක් ඇති වී තිබේ. ප්‍රභල දේශපාලනඥයකුගේ බලපෑමක් මත ශානි අබේසේකර මහතාගේ නම කපා දැමුවේදැයි පොලිසියේම පිරිස් ප්‍රශ්න කරති.

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝානය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. ඔහුගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.

අපක්ෂපාතීව විමර්ශන කරන්නෙකු ලෙස ඔහු ප්‍රසිද්ධය. එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන් වික්‍රමතුග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරෙමින් පවතී.

පොලිස්පතිවරයාට පමණක් වග කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි විමර්ශනය පවත්වනු ලබන අතර ඔහුගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන ඒකකට මගින් තවත් විශේෂ විමර්ශන කිහිපයක් සිදු කෙරෙයි.

මූලාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්