ඇඹිලිපිටිය ASP රිමාන්ඩ්

ඇඹිලිපිටිය සාදයකට පොලීසිය කඩා වැදී සිදු කළ පහරදීමෙන් සුමිත් ප්‍රසන්න නැමති එක්දරු පියා මරණයට පත් වූ අතර ඒ සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාරාහේන්පිට පොලිස් ගරාජයේදී අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න මහතා අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබේ.

සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් කළ සැකකරුවන් තංගල්ල හා කුරුවිට බන්ධනාගාරවල සිටින බවත් එහෙයින් ඔහුගේ ආරක්ෂාව ගැන අධිකරණයේ දැඩි අවධානය යොමු කරවන බවත් ඔහුගේ නීතිඥවරු අධිකරණයේදී කියා ඇත.

ඔහු යැවෙන සිරගෙදර කුමක්දැයි තීරණය කිරීම බන්ධනාගාර කොමසාරිස් සතු කාර්යයක් බවත් අධිකරණයේදී මතු කළ ප්‍රශ්න ඔහුගේ අවධානයට යොමු කරන බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

සුමිත් ප්‍රසන්න මිය ගිය ස්ථානයේ ආරක්ෂක කැමරා දර්ශන, ඡායාරූප හා වෙත් වීඩියෝ කොළඹ විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් ලබාගැනීමට මහේස්ත්‍රාත් නියෝග කර ඇත.

ප්‍රසන්න මිය ගිය ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ 17ක් රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂිත විධිවිදාන යෝදවා තිබූ බවද වාර්තා වේ.

මේ අතර මිය ගිය සුමිත් ප්‍රසන්නගේ මරණ පරීක්ෂණය අද සවස කැඳවීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්