අපි ගොඩනගන්නේ කාන්තාවන්ගේ දරුවන්ගේ අනාගතය – ඇමති සරෝජා පෝල්රාජ්

අපි ගොඩනගන්නේ කාන්තාවන්ගේ දරුවන්ගේ අනාගතය – ඇමති සරෝජා පෝල්රාජ්

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙන්නේද බහුමාන දරිද්‍රතා ඉලක්ක ජයගැනීමේ වගකීමක් බවත් ගොඩනගමින් තිබෙන්නේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අනාගතය, අනාගත ඉලක්ක, ඔවුන්ගේ ජීවිතය සහ ඔවුන්ට වැරදුන රිදුනු තැන් සුවපත් කිරීම බවත් ඒ සඳහා අමාත්‍යාංශයක් ලෙස විශාල වෙහෙසක් ගන්නා බවත් ළමා හා කාන්තා කටයුතු ඇමති සරෝජා පෝල්රාජ් අවධාරණය කළාය.

“අපි ආණ්ඩුවක් ලෙස ලබාගත් ලොකුම ජයග්‍රහණය තමයි දේශපාලන, ජාති ආගම් බේදයකින් තොරව සියලු දෙනාටම අතින් අල්ලගෙන එකම දිශාවකට එකම ගමනක් හෙමින් වුණත් ස්ථාවරව යන්න පුලුවන් රටක් නිර්මාණය කිරීමට හැකි වීම.

ප්‍රවාහනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර තුළින් භෞතික සංවර්ධනයක් අත්පත් කරගන්නා තරමටම සමාජ සංවර්ධනයක් අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මෙන්න මේ භෞතික සංවර්ධනයට සමගාමී සමාජ සංවර්ධනයක් ගොඩනගන්නට බැරි වුනොත් බහුමාන දරිද්‍රතාවයෙන් පෙලෙන සමාජයක් නිර්මාණය වෙනවා. අපි බහුමාන දරිද්‍රතා ඉලක්ක ජය ගත් රටක්. නැත්නම් බහුමාන දරිද්‍රතාවයෙන් මිදීම සඳහා කටයුතු කළ, කටයුතු කරන රටක්.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙන්නේද එවැනි බහුමාන දරිද්‍රතා ඉලක්ක ජයගැනීමේ වගකීමක්. මෙතනදි අපි ගොඩනගන්නේ කාන්තාවන්ගේ දරුවන්ගේ අනාගතය. අනාගත ඉලක්ක. ඔවුන්ගේ ජීවිතය. ඔවුන්ට වැරදුනු රිදුනු තැන් සුවපත් කිරීම. ඒ සඳහා අපි විශාල වෙහෙසක් ගන්නවා. අපිට තිබෙන අමාත්‍යාංශ අතර ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කියන්නේ සැඟවුණු අමාත්‍යාංශයක්. මොකද අපිට තිබෙන්නේ භෞතික සංවර්ධනයක් පෙන්විය හැකි ව්‍යාපෘති නෙවෙයි. අපේ අමාත්‍යාංශය කියන්නේ කාන්තාවන්ගේ දරුවන්ගේ කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර කිසිවක් එළියට අනාවරණය කරන්න බැහැ. ඒ හැම කතන්දරයකම ඔවුන්ට වැරදුනු, රිදුනු තැනක් තියෙන්න පුළුවන්. රජයක් ලෙස අපේ වගකීම වැරදුනු තැන් නිවැරදි කරගෙන රිදුණු තැන් සුවපත් කරන ජීවිතයක් ඔවුන්ට උරුම කරදීම. ඔවුන්ට වැරදුන් රිදුනු  තැන් ඔවුන්ගේ දරුවන්ට අත්පත් නොවන ලෙස සුවපත් ජීවිතයක් උරුම කර දීම.

ඒ නිසා ලස්සන ජීවිතයක් වෙනුවෙන් තබන අඩිතාලමක් ලෙසයි මේ දිවියට සවියක් වැඩසටහන ආරම්භ කළේ. ලංකාව පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356 ක 8000 ට වැඩි දරුවන් පිරිසක් ජීවත් වෙනවා. මේ දරුවන් අටදහස එකතු වන්නේ ළමා වරදකරුවන් හැටියට වගේම වින්දිතයන් ලෙසයි. ඒ වගේම අනාථ,  අත්හල,  භාරකාරත්වයක් රැකවරණයක් නැති දරුවන් ලෙස. ඒ සියලු දෙනාගේ මනෝභාවයන් එකිනෙකට වෙනස්. නමුත් ඒ සියලු දෙනාම එකට රැකබලා ගැනීමේ යාන්ත්‍රණයක් අපිට ක්‍රියාත්මක කරන්න සිදුවෙලා තියෙනවා.

ඒ නිසා අපේ බලාපොරොත්තුව 2027 වසරේදී මේ දරුවන් වෙන්කොට වඩාත්ම සුරක්ෂිත ලෙස උපදේශන මාර්ගෝපදේශ සහිතව අධ්‍යාපනික සුභ සිද්ධිය සඳහා ඔවුන් සංවර්ධනය කිරීමයි. ඔවුන්  පුනරුත්ථාපනය කරමින් නැවත සමාජගත කිරීම පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා බන්ධනාගාරගතව සිටින අයගෙන් වැඩිම පිරිස පිරිමි බව. ඒ වගේම පරිවාස හා ළමාරක්ෂක නිවාස වල සිටින වැඩිම පිරිස පිරිමි දරුවන් වීමද විශේෂත්වයක්. අපි ඔවුන්ට අනාගතයක් ගොඩ නැගිය යුතුයි.

මේ නිවාස වල කිසිම දවසක චිත්‍රපටයක්, නාට්‍යයක් බලපු නැති දරුවෝ මුණගැහිලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මොවුන් සෞන්දර්යාත්මක, යහපත් පුරවැසියන් ලෙස ගොඩ නගන්න. මේ ආධ්‍යාත්මික සංවර්ධනයක් සමඟ සුවපත් වන සමාජයක්, සාමකාමී මිනිස් ප්‍රජාවක් ගොඩ නැගීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. ඒ සඳහා උපදේශන සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. ඒ නිසා අද මේ නිවාස ලබන සියළු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ මේ නිවස තුළ ආදරය වපුරන්න. දරුවන්ට රැකවරණය සළසන්න. සතුට පිරි නිවහනක් ගොඩනගන්න.”

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් යූ. එල්. මතීෂා ජිනන්ජලී ජයතිලක, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ යන අය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් හා රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්