ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව (ITLS) ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව (ITLS) ජනපති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව (ITLS) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව පළාත් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පාසල් තරග, පර්යේෂණ සංසද සහ කර්මාන්ත ප්‍රදර්ශන ආදී වශයෙන් සැප්තැම්බර් මාසය පුරා පැවති වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් මෙම සමුළුව සංවිධානය කර තිබිණ. විදෙස් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සහ දෙස්විදෙස් විද්වතුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

ඒ අනුව, සංචාරක අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යාව සහ සත්කාරක කළමනාකරණය පිළිබඳ ආදිවිද්‍යාර්ථීන්ගේ සංගමය (AATEHM) සහ එහි තිරසාර සංචාරක ඒකකය (STU) සහ එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශය (SLCB), ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව මෙම වැඩසටහන් සංවිධානය කර තිබූ අතර, සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රවල තරුණ පරපුරෙහි දායකත්වය ඉහළ නැංවීම එහි අපේක්ෂාවයි.

”ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අනාගතය සඳහා සංචාරක නවෝත්පාදනය සහ සබඳතා” යන තේමාව යටතේ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු කීර්තිමත් ජාත්‍යන්තර විශේෂඥයන් එක් වූ විද්වත් සාකච්ඡාවක්ද මෙම සමුළුවට සමගාමීව පැවැත්විණි.

සමස්ත ලංකා පාසල් සංචාරක සමාජවල පළාත් තරගවලින් ජයග්‍රහණය කළ සිසුන්ට සම්මාන සහ සහතික ප්‍රදානය කිරීමටද මෙහිදී ජනාධිපතිවරයා එක් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ගමනාන්ත වන දකුණ, ඌව සහ නැගෙනහිර පළාත් 03 එකට එක් කර එහි සේවා සපයන්නන් සම්බන්ධ කර ගනිමින් ස්ථාපිත කළ “Ruhunu Ring” වෙබ් අඩවිය විවෘත කිරීම මෙහිදී සිදු කෙරුණු අතර, “Vision2Voice” සඟරාවේ පළමු පිටපතද ජනාධිපති වෙත පිළිගැන්විණි. එසේම සංචාරක ක්ෂේත්‍රයට අදාළව කොළඹ විශ්වවිද්‍යාලය විසින් දියත් කළ හොඳම පර්යේෂණ 10හි පර්යේෂණ පත්‍රිකා ඇතුළත් ග්‍රන්ථයද මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන වැඩසටහන් සහ තිරසාර සංචාරක ඒකකයේ සම්බන්ධීකාරක මහාචාර්ය සුරංග ද සිල්වා අතින් ජනාධිපති වෙත පිළිගැන්විණ.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අගයමින් සම්මාන පිරිනැමීමද සිදු කෙරුණු අතර ජනාධිපති අනුර දිසානායක වෙනුවෙන් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

මෙහිදී අදහස් දැක් වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සඳහන් කළේ මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී නව පර්යේෂණ සහ සොයා ගැනීම් මත පදනම් වූ ගුණාත්මක සංචාරක කර්මාන්තයක් ඇති කිරීම රජයේ ඉලක්කය බවයි. සංචාරක කර්මාන්තය කෙරෙහි තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය මෙන්ම කිසිදු රටක දක්නට නොමැති ශ්‍රී ලාංකීය ජනතාවට අනන්‍ය වූ ආගන්තුක සත්කාර ලොවට ගෙන යාමට සංචාරක ව්‍යාපාරය තුළින් හැකියාව ලැබෙන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ තුළින් මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමේ රජයේ සැලසුම්ද පැහැදිලි කළේය.

කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති ඇමති කුමාර ජයකොඩි, සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLPB) සභාපති බුද්ධික හේවාවසම්, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, සංචාරක ආර්ථික විද්‍යාව සහ සත්කාරක කළමනාකරණය පිළිබඳ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති නිහාල් මුහන්දිරම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn