ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වැඩිමහල් සහෝදරයෙකු වන ශ්රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ඇන්තනි නිශාන්ත වික්රමසිංහ මහතාගේ නිවෙස බිඳ දේපොළ සොරගනීම සම්බන්ධයෙන් පනහක් පමණ පිරිසක් ප්රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 8 වැනි දින ගල්කිස්ස සේරම් පාරේ පිහිටි මෙම නිවාස බිඳ සොරාගත් භාණ්ඩ අතරට ඇමෙරිකන් ඩොලර් 11,500 ක් ද, ස්ටර්ලින් පවුම් 10,500 ක් සහ මෙරට මුදල් රුපියල් ලක්ෂ 10ක මුදල් සහ රුපියල් ලක්ෂ 40 ක් වටිනා රෝලෙක්ස් වර්ගයේ ඔරලෝසුවක් ද අයත්ය.
මෙම සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් අටක් යොදවා ඇති බවද ගල්කිස්ස පොලිස් අධිකාරී රවින්ද්ර කරවිට මහතා ප්රකාශ කරතිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්යමකාරක සභික කොළඹ මහ නගරසභා මන්ත්රී නීතීඥ සුනිල් වටගල මහතා පවසා සිටියේ රටේ සොරකම් මංකොල්ලකෑම් මිනීමැරීම් සහ ස්ත්රී දූෂණ වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින බවත් එවැනි අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපොහොසත්වන පොලීසිය රාජ්ය අනුග්රහය සහිත පුද්ගලයන් සම්බන්ධ සිදුවීම්වලදී මහත් උනන්දුවක් හා කාර්යශූර බවක් දක්වන බවත් ය.
ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ මෙම සොරකම සෙවීමට ගන්නා වෙහෙස මෙන් රටේ සෑම තරාතිරමකම පුද්ගලයන්ට සිදුවන අපරාධ වලදීද එය මැඩපැවැත්වීමටත් මෙවැනි ආකාරයට කටයුතු කරන්නේනම් සතුටු විය හැකි බවයි.









